Tuesday, November 15, 2016

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට, චීනයට පාකිස්ථානයට සහ ශ්‍රී ලංකාවට කුමක් කරාවිද?



වර්තමානයේ ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රමුඛ  රජය දැඩි අවධානයකින් පසු වන්නේ නව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තීන් ඉන්දීය දේශපාලන, ආර්ථික සහ යුදමය අංශ කෙරෙහි කුමන ආකාරයකින් බලපානු ඇත්ද යන කරැණ පිලිබඳවය. ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක රැළි බොහෝමයකදීම දැඩිව අවධාරණය කරමින් සිටියේ එක්සත් ජනපදයට අවාසිදායක වන අන්දමින් ක්‍රියාත්මක වන ඉන්දියා-එක්සත් ජනපද ද්විපාර්ශවික වෙළඳාම මගින් සිය රටට සිදු වන මූල්‍යමය සහ සම්පත් පාඩුව පිලිබඳවයි. එක්සත් ජනපදයට අවාසිදායක වන අන්දමින් සැලසුම් කර ඇති මෙම ද්විපාර්ශවික වෙළඳ සම්භන්දතා ගිවිසුම් මඟින් ඉන්දියාව සුවිශාල මූල්‍යමය වාසි ලබන බව බොහෝ අවස්ථා වල ඔහු චෝදනා කලේය.

කරැණු එසේ වෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාව කෙරෙහි මුළුමනින්ම අවාසිදායක ස්ථාවරයක පසු නොවන බව හිටපු එක්සත් ජනපද රාජතාන්ත්‍රිකයෙකු වන විලියම් එච් ඇව්රි ගේ අදහසයි.නමුත් චීනය සහ පාකිස්ථානය කෙරෙහි ඔහු දක්වන ස්ථාවරය නම් මුළුමනින්ම අශුභවාදී බව ඔහුගේ මතයයි..

දශක ගනනාවක් තිස්සේ චීනය සහ පාකිස්ථානය විසින් එක්සත් ජනපදය සුරබිදෙනක ලෙස අතිවිශාල මූල්‍යම ලාභයන් ලබා ගැනීම සඳහා උපයෝගී කරගෙන ඇතැයි ඔහු පෙන්වාදේ.මේ අතරින් චීනය එක්සත් ජනපදය සමඟ කරන ද්විපාර්ශවික වෙළඳාමේදී ඇමරිකන් ඩොලර් බිලියන 366 කට වඩා විශාල වෙළඳ අතිරික්ත වාසියක් ලබයි.එමෙන්ම පාකිස්ථානය විසින් 2002 වර්ෂයේදී පමණක් ඇමරිකන් ඩොලර් බිලියන 30කට වඩා වැඩි මූළ්‍යමය ආධාර ප්‍රමාණයක් එරටේ ජාතික ආර්ථිකය කෙරෙහි අවශෝෂනය කර ගෙන තිබේ.මෙම ආධාර ලබාගෙන ඇත්තේ ඉස්ලාමීය අන්තවාදින්ට විරැද්ධව සටන් කරන බව අඟවමින් ඔවුන් මර්දනය කිරීමේ පොරොන්දුව එක්සත් ජනපදය වෙත ලබා දෙමිනි.

කෙසේ වෙතත් මේ වන ජනාධිපති ට්‍රම්ප් විසින් චීනයට සහ පාකිස්ථානයට වාසි සහගත ලෙස  බැහැරට යන සිය රටේ මුදල් ප්‍රවාහය කප්පාදු කිරීමේ සියළුම ලක්ෂණ පහල කර ඇතැයි එක්සත් ජනපද රාජ්‍යත්‍රාන්ත්‍රිකයෝ ප්‍රකාශ කරති.

පසුගිය වසර පහලොව තුලදී එක්සත් ජනපදයේ මිලියන පහක ශ්‍රම බලකායකට නිෂ්පාදන ක්ෂේත්‍ර යේ රැකියා අහිමි වී ඇත.මෙම කාලය තුලදිම චීනය විසින් ඉතා වේගයෙන් එහි නිෂ්පාදන ක්ෂේත්‍ර ‍යේ ධාරිතාවය වැඩි කරගෙන ඇති අතරම එම ක්ෂේත්‍රෙය් සේවා නියුක්තියද ඉහල නංවාගෙන ඇත.මෙම තත්වය තුල ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය සමයේ සිය රටට අහිමිව ගිය සේවා නියුක්තිය නැවත ලබා ගනිමින් නිෂ්පාදන ක්ෂේත්‍ර යේ රැකියා උත්පාදනය ඉහල නැංවීමේ පොරොන්දු සිය මැතිවරණ වේදිකාවේදී ලබා දෙන ලදි.මෙලෙස රැකියා උත්පාදනය ඉහල නැංවීමේ එකම මාර්ගය වනුයේ  මෙතෙක් යොදාගත් ආසියානු ලාභ දායී ශ්‍රමබලකාය යොදා ගැනීම සීමා කිරීමයි.මේ සඳහා ඉදිරි කාලයේදී  එක්සත් ජනපද නිෂ්පාදන ක්ෂේත්‍රය තුල ආසියානු ශ්‍රමය සඳහා මූල්‍යමය සහ අනෙකුත් බදු පැනවීමේ අවධානමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විචාරකයෝ පවසති.

මෙවැනි ප්‍රතිපත්තියක් චීන ආර්ථිකය කෙරෙහි අවපාතන තත්වයකින් බලපානු ලබන බව පෙනී යයි.දශක ගනනාවක් පුරාවට  පැවති චීනයට වාසි සහගත ආයෝජන වලට තිත තැබීමේ ප්‍රතිපලයක් ලෙස චීන ආර්ථික වර්ධන වේගය අඩාල වීමක් ඉදිරියේදී දැකිය හැකි වෙතැයි ලෝක ආර්ථික විශ්ලේෂකයෝ අනතුරැ අගවති.මෙම තත්වය එක්සත් ජනපදය සමඟ පැවති චින ආර්ථික තරගය වෙනත් මගකට හැරවීමට සමත් වන්නකි.මෙම ආර්ථික අවපාතන තත්වය මගින් දේශපාලන ,යුදමය සහ වෙනත් ව්‍යාකූල තත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවක් පවතී.

ට්‍රම්ප් රජය මඟින් නිදහස් වෙළඳ ප්‍රතිපත්තීන් සීමා කලහොත් එමඟින් ඉන්දියාව වෙත හිමිවන තාක්ෂණික සහන සහ ඒ තුලින් ඉන්දීය ශ්‍රම බලකාය වෙත හිමිවන රැකියා අවස්ථා අහිමි වීමේ අවධානමක් පවති.කෙසේ වුවද ඉන්දියාවේ හයිඩ්‍රාබාද්හි සිට අන්තර් ජාලය හරහා එක්සත් ජනපදයට පැමිණෙන පරිඝනක කේතයකට වඩා පහසුවෙන් චීනයේ ෂැංග්හයි සිට පැමිණෙන යාන්ත්‍රික උපාංගයක් සඳහා බදු පැනවීම පහසුය.ආසියානු කලාපය තුල පවතින චීන-ඉන්දීය බල අරගලය තුල චීන ආර්ථික අවපාතනයක් යනු ඉන්දියාවට මූල්‍යමය වශයෙන් වාසිදායක වාතාවරණයකි.

ඉන්දියාවේ අනෙක් පස සිටින එහි  කලහකාරී අසල්වැසියා වන පාකිස්ථානයටද ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තීන් ඉතා අහිතකර ලෙස බලපානු ඇත.නව ජනාධිපතිවරයාගේ ආසියානු ප්‍රතිපත්ති ප්‍රකාශයන්ට අනුව  පාකිස්ථානය  වඩාත් භයානක රටක් වීමේ හැකියාව පවතී යයි පෙන්වාදී ඇත.මේ තත්වය සමනය කිරීම සඳහා ඉන්දියාවේ මැදිහත්වීම සහ පරීක්ෂාව පිලිබඳ තම අරමුණු ඉක්මනින්ම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන්නේ යැයි ට්‍රම්ප් පවසා ඇත.ඉන්දීය- පාකිස්ථාන කාෂ්මීර ගැටුම සඳහා එක්සත් ජනපදය මැදිහත් විය යුතු බව මෙයට වසර 8කට පෙර හිටපු එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා විසින් සිදු කල ප්‍රකාශය නැවත සිහිගැන්වීමක් ලෙස මෙය හඳුන්වා දිය හැක.

බැරක් ඔබාමා විසින් කාෂ්මීර සාකච්චා සඳහා මැදිහත් වීමක් සිදු නොකලද සෑම විටෙකම ඉන්දියාව සහ පාකිස්ථානය අතර ද්විපාර්ශවික සම්භන්දතා වර්ධනය කිරීමේ අවශ්‍යතාවය පිලිබඳ දැඩි ලෙස අවධාරණය කරන ලදි.නමුත් ඔබාමාගේ අනුප්‍රාප්තිකයා මේ වන විටත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයන් ඔස්සේ පාකිස්ථානය යනු ගැටළුවක් බවත් ඉන්දියාව එම ගැටළුවට අදාල විසඳුමේ කොටසක් බවත් ප්‍රකාශ කිරීම ඉස්ලාමාබාදය බරපතල ලෙස උපහාසයට ලක් කිරීමක් බඳු ප්‍රකාශයකි.

මෑත ඉතිහාසයේ සිටි එක්සත් ජනපද ජනාධිපතිවරැන්ට සාපේක්ෂව ට්‍රම්ප් සුවිශේෂී චරිතයක් වන්නේ පාකිස්ථානු ප්‍රතිපත්තීන් පාලනය කිරීම සඳහා එරටට  ලබාදෙන ආධාර මුදල් කපා දැමීමේ අවධානමක් ඇති කිරීම නිසාය.2011 වර්ෂයේ ඔසාමා බින් ලාඩෙන් ඝාතනය කිරීම සඳහා ඔහු සිටි ස්ථානය නීර්ණය කිරිමට  එක්සත් ජනපද සී.අයි.ඒ සංවිධානයට ඔත්තුව ලබාදුන් බවට චෝදනා ලද ආචාර්ය ෂකීල් අෆ්රිඩි නිදහස් කර ගැනිම සඳහාද ට්‍රම්ගේ දැඩි අවධානය යොමුවි ඇත.මම හිතනවා මට ඔහු මිනිත්තු 2කකින් සිර මැදිරියෙන් නිදහස් කර ගැනිමට හැකිය කියා.මම කියනවා ඔහුව නිදහස් කරන්නය කියලා.මට හොඳටම විශ්වාසයි ඔවුන් ඔහුව අනිවාර්රයෙන්ම නිදහස් කරයි .මොකද අපි පාකිස්ථානයට සුවිශාල ලෙස ආධාර කරන නිසා........යයි ට්‍රම්ප් පවසා තිබේ.

ශ්‍රී ලංකාව පිලිබඳ අවධානය යොමු කිරීමේදී ඉන්දියාව සමඟ සමීප ආර්ථික සම්භන්දතා වර්ධනය කර ගැනීම ඉදිරි වසර කිහිපය තුලදී අප රටට වාසි සහගත වනු ඇත.මන්ද යත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය කෙරෙහි දක්වන ඉහත ද්විපාර්ශවික ප්‍රතිපත්ති නිසා ආර්ථික සහ මූල්‍යමය වාසිදායක තත්වයක් නිතැතින්ම ඉන්දීය ආර්ථිකයට හිමි වන නිසාය.ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ බෙදුම්වාදී අරගලය මේ වන විටත්  ජාතික සහ අන්තර්ජාතික දේශපාලන මුහුනුවරකින් ක්‍රියාත්මක වෙමින් පැවතීමත් ත්‍රස්තවාදයට අනුබල නොදෙන ට්‍රම්ප්ගේ දැඩි විදේශ ප්‍රතිපත්තියත් පිලිබඳ සලකාබැලීම මෙම සන්දර්භය තුලදී ඉතාම වැදගත් ලෙස සැලකිය හැකිය.අප රටට වාසි දායක අන්දමේ වෙළඳ  මූල්‍යමය ප්‍රතිපත්තීන් සහ ගිවිසුම් ඉන්දියාව සමඟ වර්ධනය කර ගැනිමේ දැඩි අවශ්‍යතාවයක් ඉදිරි  වසර පහ තුලදි වර්ධනය විමේ ප්‍රවණතාවයක් මා දකිමි.............

එස්.එම් අනුරාධ සේනාරත්න  (සැර අයිඩියා)යහපත් දේශපාලන සදාචාරයක් සඳහා තරැණ අපි