Sunday, September 4, 2016

මැද පෙරදිග කලාපයට චින රාජ්‍ය තාන්ත්‍රික ප්‍ර වේශයක්.....

මැද පෙරදිග කලාපයට චින රාජතාන්ත්‍රික ප්‍ර වේශයක්.....

2016 වසරේදී චින ජනාධිපති ෂී ජින්පින්ග් සෞදි අරාබිය,ඊජිප්තුව සහ ඉරානය යන මැද පෙරදිග කලාපීය රටවල නිල සංචාරයක නිරතවිමට නියමිත බව වාර්තාවේ.ඒ අනුව චීනයේ එක් තීරැවක් සහ එක් මාවතක් (One belt and one road) යන ආර්ථික උපායමාර්ගීය ක්‍රියාන්විතයේ තීරනාත්මක එක් අසල්වැසි කලාපයක් බවට මැද පෙරදිග කලාපය පත්වීම සිදුවේ.



ඉදිරි දශකය තුලදි කුමන ආකාරයේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති රාමුවක් චීනය විසින් මැදපෙරදිග කලාපය කෙරෙහි ක්‍රියාත්මක කරනු ඇත්ද?එමෙන්ම චීනයට  ගෝලීය බල අරගල වලදී සන්නද්දමය බලපෑමක් සිදු කිරීමේ උචිත කාලය ලෙසට මෙය සැලකිය හැකිද?චීන ජනාධිපතිවරයාගේ මැදපෙරදිග සංචාරයට ප්‍රථම අරාබි කලාපය සම්භන්ද ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කරනු ලැබේවිද?චීන - අරාබි විදේශ සම්භන්දතා මඟින් චින-ඉරාන විදේශ සභදතා වලට කුමන අයුරක බලපැමක් කරනු ඇත්ද?යන ඉහත කාලින ගැටළු වලට විසඳුම් විමර්ෂණය කිරිමට නම් ප්‍රධාන කරැණු තුනක් පිලිබඳව සලකා බැලිමට සිදුවේ.


1. මැද පෙරදිග කලාපයීය ආවේණික මූලික ලක්ෂණ

2. චීනය කලාපයට ප්‍රවිශ්ඨවීමේ සාපේක්ෂ වැදගත්කම

3.මැදපෙරදිග කලාපය කෙරෙහි චීනය දක්වන ප්‍රමුඛතාවය

යන ලක්ෂන පිලිබඳව විශ්ලේෂණයක් සිදුකිරීම මෙහිදී වැදගත් වන බව මාගේ හැඟීමයි.
මැදපෙරදිග කලාපයීය පිහිටීම සහ භූමියේ වැදගත්කම හැරැන විට මෙම කලාපය ශක්ති ප්‍රභවයන් අතින් ඉතාම පොහොසත් අවධියක පවතී.ගෝලීය බොරතෙල් නිෂ්පාදනයෙන් 47.7% ක් සහ ගෝලිය ස්වභාවික වායු නිෂ්පාදනයෙන් 42.7%ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරනුයේ මෙම කලාපය මඟිනි.එමෙන්ම මෙම කලාපය මානව සම්පත් අතින්ද ඉතාමත් පොහොසත් මට්ටමක පවතී.මෙම සාධක අනුව වර්තමානයේ මැදපෙරදිග කලාපය ඉතා සීඝ්‍රෙයන් කාර්මීකරණය සහ නාගරීකරණය වෙමින් පවතී.ඊශ්‍රායලය හැරැන විට අනෙකුත් සියළුම මැදපෙරදිග කලාපීය රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල් ලෙස සලකනු ලබයි.
නමුත් මැදපෙරදිග කලාපය ආගමික අර්බුද, ජාතික අර්බුද සහ ආර්ථික අර්බුද අතින් බහුල කලබලකාරී පරිනාමික අවධියක පවතින කලාපයක් ලෙස වර්තමානයේ සැලකේ.ආගමික අන්තවාදීනගේ සහ ත්‍රස්තවාදීනගේ කෙළි බිමක් බවට මේ වන විටත් මැදපෙරදිග කලාපය පත්වී තිබේ.මෙම කලාපයේ රටවල් බහුතරයක් ත්‍රස්තවාදි අර්බුද සහ අභ්‍යන්තර සිවිල් අර්බුද වලින් හෙම්බත්ව සිටිති.කලාපයිය ප්‍රධාන බලවතෙකු පැහැදිලිව නොමැති නිසා ප්‍රා දේශීය බලවේග ලෙසට තුර්කිය, ඉරානය ,ඊජිප්තුව සහ සෞදි අරාබිය යන රටවල් එකිනෙකා පරයමින් කලාපයේ ප්‍රධාන බලවතා වන්නට උත්සහ කරන තත්වයක් මෙම කලාපය තුල වර්තමානයේ ඇතිවී පවතී.මෙම නිසා මැදපෙරදිග කලාපයීය කුඩා රටවල් සහ මධ්‍යම මට්ටමේ රටවල් අතර ගැටුම් සඳහා භාහිර ගෝලීය බලවේග අතපොවන තත්වයක් අද ඇතිවි තිබේ.



මෙම භාහිර ගෝලිය බලවේග විවිධ රටවල් සහ ආගම් වලට සහයෝගය දක්වන අතර එම ආංශීය ධාරා වලට සහයෝගය දක්වන තත්වයක් තිබේ.මෙම සන්දර්භය තුලදි කලාපයිය පෙට්‍රො රසායනික කර්මාන්ත මඟින් ආර්ථික වාසි ලබා ගැනිමට චීනය උත්සහ දරන බව ඉතා පැහැදිලි කරැණකි.තවද තෙල් සහ ස්වභාවික වායු සම්පත් ගවේෂණය කිරීම මෙන්ම කැනීම් සහ පිරිපහදු කටයුතු ඔස්සේ මැදපෙරදිග කලාපයේ ආයෝජනය කිරීම චීනයේ අපේක්ෂාව බව පැහැදිලිව කිවහැකිය.කලාපයීය සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වැඩි අවධානයක් සහ ආයෝජනයක් චීනය විසින් දරනු ඇත.සිය නිපැයුම් සඳහා වෙළඳපොළක් ලෙස චීනයට මැදපෙරදිග කලාපය භාවිතා කිරීමේ වටිනා අවස්ථාවක්ද මෙහිදී හිමිවේ.සාගර සන්නිවේදන ජාලයක් නිර්මානය කිරීමේදී ඒ සඳහා මැදපෙරදිග කලාපය යොදාගැනීම චීනයේ අපේක්ෂාවයි.එමඟින් එක් තීරැවක් එක් මාවතක් යන චීන ව්‍යාපෘතිය සඳහා මැදපෙරදිගින් හොඳ දායකත්වයක් සපයනු ඇත.

මෙලෙස මැදපෙරදිග කලාපයට පිවිසෙන චින ආගමනය කලාපයිය රටවල් බොහෝමයකට නව අවස්ථා උදාකරනු ඇත.දියුණු යටිතල පහසුකම්, න්‍යෂ්ටික බලය, නව තාක්ෂණය සහ උපකරණ ඔස්සේ මැදපෙරදිග කලාපයිය වෙළඳපොළ චීන නිෂ්පාදන වෙතට ආකර්ෂනය කිරීමේ සාර්ථක උපායමාර්ගයක් ලෙසට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකවේ.

කෙසේවුවද ඊශ්‍රායලය, තුර්කිය,ඊජිප්තුව,සෞදි ආබිය සහ ඉරාකය යන මැදපෙරදිග රටවල් ඇමරිකා එක්සත් ජනපදයට සහයෝගය දක්වන මිතුරැ රටවල් ලෙසට ප්‍රසිද්ධය.චීනයට සාපේක්ෂව ඇමරිකා එක්සත් ජනපදය ඉහත රටවල් සමඟ සමීප රාජ්‍යතාන්ත්‍රික සම්භන්දතා වර්ධනය කරගෙන තිබේ.මැදපෙරදිග කලාපය යනු විසඳීමට ඉතා දුෂ්කර දීර්ඝකාලින අර්බුදකාරී ගැටුම් සහිත කලාපයක් ලෙසට පරිනාමය වෙමින් පවතින කලාපයක් බවට අද පත්වි අවසානය.



විවිධ ආගමික කන්ඩායම් අතර ගැටුම් (ඊශ්‍රායලය සහ පලස්තිනය අතර),විවිධ ආගමික නිකායන් අතර ගැටුම්(සුන්නි සහ ෂියා නිකායන් අතර ගැටුම්), විවිධ ජනවාර්ගික කන්ඩායම් අතර ගැටුම්( කුර්දි සහ තුර්කි වාර්ගික කන්ඩායම් අතර ගැටුම්), ආදී වශයෙන් දීර්ඝ කාලිනව එඩු දිවූ ගැටුම් රැසක් මෙම කලාපය තුල මුල්බැසගෙන පවතී.එපමනක් නොව මෙම කලාපය තුල මධ්‍යස්ථ මතවාදීන් සහ රැඩිකල් මතවාදීන් අතරද දරැණු ගැටුම් පවතී.මැදපෙරදිග කලාපය තුල පවතින මෙම අර්බුදකාරී වාතාවරණය විසඳීම එක්සත් ජාතීනිගේ සංවිධානය, නේටෝ සංවිධානය පමණක් නොව එක්සත් ජනපදය වැනි ප්‍රබල රටවල් වලද සීමාවන් වලට ඔබ්බෙන් පිහිටි අභියෝගයක් වී පවතී.

කෙසේ වුවද චීනයට ඉහත වාතාවරණය තුල අනුගමනය කල හැකි විකල්ප පියවර කිහිපයක් පවතින බව පෙනී යයි.

1. කලාපයීය ගැටළු සහ අර්බුද වලට මැදිහත් නොවී තම ආර්ථික අරමුණු සහ අනෙකුත් අරමුණු කරා ප්‍රවිශ්ඨ වීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම.

2.කලාපය තුල එක් පාර්ශවයකට වැඩි සහයෝගයක් ලබා දෙමින් අසමබර විදේශ ප්‍රතිපත්තියක සිටීම.

3. කලාපයීය ගැටළු හා අර්බුද වර්ධනය කරමින් ඒවාගෙන් වාසී ලබා ගැනීම

මීලඟ දශකය තුලදී මැදපෙරදිග කලාපය සමඟ චීනයේ සම්භන්දතා පවතින්නේ ආර්ථික සහයෝගීතාවය පදනම් කරගෙනයි.මැදපෙරදිග කලාපය තුල ප්‍රායෝගික බලපෑමක් සිදුකිරීමේ අරමුණෙන් එයට සංස්කෘතික ලක්ෂණ සම්ප්‍රේශනය කිරීම චීනයට එතරම් පහසු කටයුත්තක් නොවනු ඇත.මෙම කලාපයේ ආරක්ෂක ගැටළු සම්භන්දයෙන් ප්‍රමුඛ කාර්යභාරයක්  ඉටුකිරිමට ඉදිරි දශකයේදි චීනයට සිදුවනු නොඅනු මානය.



කලාපයේ අර්බුද වලින් ඉවත්ව සිටිම චීනය සඳහා එතරම් යෝග්‍ය භූමිකාවක් නොවන බව පැහැදිලිය.එමෙන්ම පවතින අර්බුද අවුස්සා ඒ තුලින් පටු වාසි අත්කර ගැනීම චීනයේ මෙතෙක් ගොඩනඟා ගත් ජාත්‍යන්තර ප්‍රතිරෑපයට අනුරෑප නොවන බවද පෙනී යයි.යුරෝපයීයන් මැදපෙරදිග කලාපය තුල සියවස් ගනනාවක සිටම කරන ලද එවන් ආකාරයේ කොල්ලකෑමක් නූතන සියවසේ දීර්ඝ කාලින සහ ස්ථාවර විදේශ සම්භන්දතා සඳහා යෝග්‍ය නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.එක්සත් ජනපදය සහ රැසියාව පසුගිය දශකය පුරාවටම මැදපෙරදිග කටයුතු වලට මැදිහත්වූ පරිදි එක් පාර්ශවයකට පමණක් සහයෝගය දැක්විම නව සියවසේ විදේශ සම්භන්දතා වලදී සාර්ථක ප්‍ර වේශයක් නොවන බ ව අත්දැකීමෙන්ම චිනය දන්නා කරැණකි.

මේ අනුව මැදපෙරදිග විදේශ සම්භන්දතා වලදි චීනය විසින් සමාන ආකාරයේ ප්‍රතික්‍රියා දැක්විමේ ප්‍රතිපත්තිමය ප්‍රෙව්ශයක් අනුගමනය කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.මැදපෙරදිග කලාපයේ වත්මන් අර්බුදකාරී වාතාවරණය කෙරෙහි චිනය වගකිවයුතු නොමැති පාර්ශවයක් සේම පටලැවී නොසිටින පාර්ශවයක් ලෙස සැලකේ.එමෙන්ම චිනය මැදපෙරදිග රටවල සෘජු අසල්වැසියෙක්ද නොවේ.කෙසේ වුවද චිනයේ මැදපෙරදිග ආගමනයේ ප්‍රධානතම අරමුණු වනුයේ එහි දේශීය ආර්ථිකය සහ දේශීය සමාජ සංස්ථාවන් වල වර්ධනය වේගවත් කිරීමයි.මේ නිසා මෙම වැඩපිළිවෙලේදී රටේ අභ්‍යන්තර ක්‍රියාදාමයන් කෙරෙහි බලපෑමක් ඇති වන අන්තර්ජාතික වගකිම් සහ බැඳීම් මත රැඳී  සිටිමට චීනය මෙහිදි කිසිසේත්ම අපේක්ෂා නොකරනු ඇත.

අධිරාජ්‍යවාදී පාලකයන්ට මෙන්ම වර්තමාන නියෝ අධිරාජ්‍යවාදින්ටද මැදපෙරදිග සංකීර්ණ අර්බුදකාරී වාතාවරණය කෙරෙහි සාර්ථක විසඳුමක් ඉදිරිපත් කිරීමට මේ දක්වා නොහැකිව තිබේ.මෙවැනි පසුබිමක් තුල කලාපයට ප්‍රමාදවි පැමිණෙන චීනයට කලාපයිය අර්බුද සමනය කිරිම අතින් සිදුකල හැකි කාර්යභාරය සිමාසහිත තත්වයක පවතී.තාවකාලික විසඳුම් ඇතිකර ගැනිම සඳහා අර්බුදයට මැදිහත්වි සිටින පාර්ශවයන් හට උපකාර කිරීමෙන් චිනයට කලාපයිය අර්බුද සඳහා ප්‍රෙව්ශවීමේ හැකියාවක් පවතී.එක්සත් ජනපදය, යුරෝපය සහ රැසියාව මැදපෙරදිග කලාපයීය ගැටළු සම්භන්දයෙන් අනුගමනය කරන රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති වලට වඩා වෙනස් ප්‍ර වේශයක් ලෙසට මෙය විග්‍රහ කිරීමේ හැකියාව ඇත. කලාපීය බලවතුන් සමඟ එක්ව අර්බුදයට සම්භන්දවී සිටින පාර්ශවයන්ට පහසුවෙන් එකඟ විය හැකි බලසම්පන්න සහ සාමකාමී ක්‍රමවේදයන් මෙහිදී චීනය විසින් ඉදිරිපත් කරනු ඇත.



වඩාත් ස්ථාවර පදනමක් ගොඩනඟා ගැනිම සඳහාත් අදාල යාන්ත්‍රණයන් යාමණය කිරීම සඳහාත් මෙහිදි චීනය විසින් එහි මැද පෙරදිග නියෝජිතයන් පත්කරනු ඇත.කලාපය සඳහා මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර සැපයිමේදී චීනය අනෙකුත් ගෝලිය බලවේග හා එක්ව අදාල විදේශ ප්‍රතිපත්ති සහ සැළසුම් වලට අනුකුලව කටයුතු කිරීමට අපේක්ෂා කරයි.දීර්ඝ කාලයක් තිස්සේ ලබා ගත් ජාත්‍යන්තර නිදසුන් පරීක්ෂා කිරීමේදී චීන විදේශ ප්‍රතිපත්ති සහ වැඩසටහන් වල අපක්ෂපාති ස්වභාවය සඳහා ඉතාමත් හොඳ කීර්තියක් තිබේ.මේ වන විටත් සිරියානු අර්බුදය විසඳීමේ ඉදිරි පියවරක් ලෙසට සිරියානු රජය පාර්ශවයට සහ විරැද්ධ පාර්ශවයට චීන සංචාරයක් සඳහා චිනය විසින් ආරාධනා කර ඇත.

චිනය මැදපෙරදිග කලාපයීය අවි ගැටුම් සඳහා මැදිහත් නොවි සිටිම වඩාත් උචිත බව විශ්ලේෂකයෝ පවසති.කලාපය තුල චිනයේ රාජ්‍යතාන්ත්‍රික කාර්යභාරය වඩාත් ධනාත්මක සහ  ආයෝජක මුහුනුවරක් ගත යුතු බව විශ්ලේෂකයෝ පවසති.විදේශ කටයුතු විචක්ෂණභාවය සහ සපිරිම් පදනම් කරගත් අරමුණු මත වර්ධනය විය යුතු මැදපෙරදිග චින ආගමනය අධික ලාභ ලබා ගැනීමේ කැදර කමින් දූෂිත නොවි සිටීම දිර්ඝ කාලින සහ ස්ථායී සම්භන්දතාවයකට හේතුවිය හැකිය.

කරැණු මෙසේ තිබියදි චිනය මැදපෙරදිග කලාපයේ එහි සන්නද්ධ බලය වැඩි කර ගැනිමේ උත්සහයකද නිරත වන බව පෙනේ.ජිබුටි වල චිනයේ හමුදාමය කටයුතු මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවිමට මේ වන විටද තීරණය වි ඇත.අනාගතයේදි අවශ්‍යතාවයන්ට අනුව චින හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයක් මැදපෙරදිග කලාපය තුලද ස්ථාපිත කරනු ඇත.භූමියේ වැදගත්කම අතින් බලන විට ඕමානය , සයිප්‍රසය, ලෙබනනය,ඊශ්‍රායලය, සහ ඉරානය මෙලෙස හමුදාමය මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඉඳිකිරීමට සුදුසු ප්‍ර දේශ ලෙස මේ වනවිටත් හඳුනාගෙන තිබේ.

අරාබිකරය, තුර්කිය, ඉරානය,ඊශ්‍රායලය යන මැදපෙරදිග බලවේග හතර සමඟ යහපත් රාජ්‍යතාන්ත්‍රික සම්භන්දතා සනිටුහන් කිරිම චීනයට විශාල අභියෝගයක් වනු ;ඇත.මැදපෙරදිග කලාපයිය බහුතරය වන අරාබිකරය සමඟ වඩාත් සුහදශීලි සම්භන්දතා පවත්වා ගැනිම බෙහෙවින් වැදගත් වනු නිසැකය.මේ අනුව එක් තිරැවක්....එක් මාවතක් යන (OBOR) ප්‍රතිපත්තිය පැහැදිලි කිරිමට සහ අරාබිය කෙරෙහි චින පිළිවෙත විවරණය කිරීමට චීනයට රාජ්‍යතාන්ත්‍රික ලිඛිත එකඟතාවයක් අවශ්‍ය බව පෙනි යයි.

මේ අතර චිනය සහ ඊජිප්තුව අතර විදේශ සම්භන්දතා වල 60 වන සංවත්සරය නිමිත්තෙන් චීනයේ අරාබි ප්‍රතිපත්තින් නම් ප්‍රකාශනය මේ වන විටත් චීනය විසින් එළි දක්වා ඇත.චීන ජනාධිපතිවරයා අරාබිකරයේ ප්‍රධාන බලවේග වන සෞදි අරාබිය සහ ඊජිප්තුව යන රටවලට ඔහුගේ පථම විදේශ සංචාරය යොදා ගැනීමෙන්ම චීනයේ අරමුණු පැහැදිලි වන බව විදේශ විත්ති විචාරකයෝ පවසති.චීනයේ අරාබි ප්‍රතිපත්ති යටතේ එය ඉරානය සමඟද රාජ්‍ය තාන්ත්‍රික සම්භන්දතා වර්ධනය කරනු ඇත.ඉරානය එය දැනට පවතින හුදකලා වාතාවරනය යටතේ චීනයේ OBOR හෙවත් එක් තිරැවක් එක් මාවතක් වැඩපිළිවෙල සඳහා ප්‍රධාන පිවිසුමක් වියහැකි මධ්‍යස්ථානයක් ලෙස හඳුනා ගෙන ඇත.මේ තත්වය මත ඉරාන විදේශ සම්භන්දතා වල ප්‍රමුඛස්ථානය චිනයට ලැබිමේ ප්‍රවණතාවයක් වර්ධනය වෙමින් පවති.




සිරියානු අර්බුදයේදී උවද ඉරානයේ සහ සෞදි අරාබියේ ආන්තික මැදිහත්විම සිදු වන පසුතලයකදි චින මධ්‍යස්ථ මැදිහත්විම මඟින් ගැටළුවට සාර්ථක විසඳුමක් ලබා ගත හැකි තත්වයක් දැන් පැනනැඟී ඇත.කෙසේවුවද චින ජනරජයේ ජනාධිපති ෂී ජින්පින්ග් එක් වරම රියාද් සිට ටෙහෙරානය බලා ප්‍රවිශ්ඨ නොවනු ඇත.ඔහු ඒ අතර පිහිටි  ඊජිප්තුව කෙරෙහිද සිය අවධානය යොමු කරමින් කයිරෝව බලාද ගමන් කරනු ඇති බව චීනයේ ජාත්‍යන්තර සම්භන්දතා සහ ගෝලිය ආර්ථික දේශපාලනික දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටි.

ඊජිප්තුව අරාබිකරයේ සාම්ප්‍රදායික බලවතා විමත් ඊිජිප්තුව විසින් ඉරානය සහ සෞදි අරාබිය යන දෙරටම සමඟ සාමාන්‍ය විදේශ සම්භන්දතා පවත්වාගෙන යාමත් ඊජිප්තුව චිනයේ OBOR වැඩපිළිවෙලේ කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් වනු දැකිමට චිනයේ ඇති කැමැත්තත් යන කරැණු ත්‍රිත්වයම හේතු කර ගෙන චිනය ඊජිප්තුව කෙරෙහි දැඩි අවධානයකින් පසුවේ.

මේ අනුව චින ජනාධිපතිවරයාගේ ඊජිප්තු සංචාරය සෞදි අරාබිය, ඊජිප්තුව සහ ඉරානය යන මහා ශිෂ්ඨාචාර ත්‍රිත්වයම ඉලක්ක කර ගනිමින් සංස්කෘතික දේශපාලනික සහ ආර්ථික හුවමාරැවකට සංවිධානය කරන ලද ප්‍රයත්නයකි.මෙම කලාපය තුලදි චිනය විසින් පුළුල් ආර්ථික සහයෝගිතාවයක් මෙන්ම රටවල් අතර පුළුල් සංවාදයක් වර්ධනය කිරිමේ අවකාශයක් නිර්මාණය කිරිමේ අපේක්ෂාවෙන් පසුවේ.



මැදපෙරදිග කාලාපය කෙරෙහි චිනයේ ප්‍ර වේශය ප්‍රධාන ලෙසම ආර්ථික සහ සංස්කෘතික අංශ ඔස්සේ එලඹෙන දශකයේදි සිදුවන්නකි.මැද පෙරදිග කලාපය තුලට සිදුවන චින රාජ්‍ය තාන්ත්‍රික ප්‍ර වේශය ඉහත දැක්වු ප්‍රධාන අංශ ඔස්සේ සිදුවිය යුත්තකි.කලාපය තුල චීන අන්තර් ජාතික මැදිහත්විම සහ වගකිම් සඳහා ඊට අඩු වටිනාකමක් ලබාදිය යුතුව ඇත.කලාපය තුල ධනාත්මක භූමිකාවක් රඟ පාමින් සාමය සහ සහජිවනය සඳහා ක්‍රියාකාරිකයෙක් ලෙස කටයුතු කිරීම චිනයේ අනාගත අපේක්ෂාව වේ.


ආචාර්ය ෂියු ලී ( අධ්‍යක්ෂ  , චින දේශපාලන සහ උපාය මාර්ග පිලිබඳ දෙපාර්තමේන්තුව) විසින් නිවුස් වීක් සඟරාව සඳහා යොමු කරන ලද ලිපියක් ඇසුරෙන් සැකසුන සිංහල අනුවාදයකි.

එස්.එම් අනුරාධ සේනාරත්න  ( බී.එස්.සි ( sec) / පශ්චාත් උ. ඩිප්ලෝමා (සමාජ විද්‍යාව),

No comments:

Post a Comment