Thursday, July 21, 2016

නිෂා බිස්වාල්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ඇතුලාන්තය........

නිෂා බිස්වාල්ගේ ලංකා ගමනේ ඇතුලාන්තය..............



එක්සත් ජනපද මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල්ගේ ශ්‍රී ලංකා සංචාරය හුදෙක්ම කිසිදු හේතුවක් රහිතව සිදුකල සංචාරයක් නොවේ.දැනට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට වාර්තාවී ඇති පරිදි  පසුගිය මාස කිහිපයක සිට මෛත්‍රී-රනිල් රජයේ පාර්ශව දෙක අතර එතරම් හිතකර වාතාවරණයක් නොපවතින කරැණ අවධානයට ලක්වී ඇත.

විශේෂයෙන්ම හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වෙත එල්ලවී ඇති මූල්‍ය වංචා චෝදනා සම්භන්දයෙන් යහපාලන රජයේ රනිල් සහ මෛත්‍රී පාර්ශව අතර ඇතිවී තිබෙන සීතල යුද්ධය  කෙරෙහි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියා කලාපයේ ඉහල අවධානයක් යොමුවී ඇත.ඒ මන්ද යත්  ශ්‍රී ලංකාවේ රනිල් -මෛත්‍රී පාලනය කෙරෙහි ඔබාමා රජය මේ වන විටත් සුවිශාල විශ්වාසයක් තබා ඇති හෙයිනි.

වරෙක එක්සත් ජනපද රාජ්‍ය ලේකම් පවසා සිටියේ ශ්‍රී ලංකා ජනතාවගේ ඡන්ද බලය මඟින් නව රජය දිනාගෙන ඇති ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සමස්ථ ලෝකයටම ආදර්ශයක් වන බවයි.මෛත්‍රී-රනිල් රජය බලයට පත්වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී , එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව එක්ව සම්පාදනය කල යෝජනා ක්‍රියාත්මක කිරීම සම්භන්දයෙන්  විශාල බලාපොරොත්තු ඇති වෙමින් පැවතිනි.මේ නිසා අභ්‍යන්තර මත ගැටිම් නිසා කිසිදු විටෙක තම බලාපොරොත්තුව කඩ කර ගැනීමට එක්සත් ජනපදය සූදානම් වන්නේ නැති බව කිවහැක.


ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් යුද අපරාධ වලට සම්භන්ද යැයි  චෝදනා කරනු ලබන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, සරත් ෆොන්සේකා සහ ඇතැම් හමුදා නිළධාරීන් සඳහා යුද අපරාධ සඳහා දඬුවම් කල යුතු යැයි ශ්‍රී ලංකා රජය මත බලපෑම් කරන පරිසරයක් නිර්මාණය වෙමින් පැවතිනි.මෙය  අන්තර් ජාතික යුද අපරාධ අධිකරණක් හරහා සිදු කල යුතු යැයි මතවාදයක් ස්ථාවර වෙමින් පැවතිනි.මේ අතර එක්සත් ජනපද රජය මඟින් අන්තර් ජාතික යුද අධිකරණයකින් ගැලවීම සඳහා ක්‍රමවත් සැලැස්මක් මෛත්‍රී-රනිල් රජයට ලබා දීමට උත්සුක විය.

අැතැමුන්ගේ අදහස අනුව අගවිනිසුරැ ,විපක්ෂ නායක සහ මහ බැකුඅධිපති තෝරා පත් කර ගැනුනේ මෙම සැලැස්මට අනුවයි.මේ අනුව අන්තර් ජාතික මානව හිමිකම් කොමිෂම යුද අපරාධ චෝදනා සඳහා විශාල කැප කිරිමක් ශ්‍රි ලංකාවෙන් ඉල්ලා සිටින විටකදී  එක්සත් ජනපදයේ අදහස වූවේ අනාගතය පිළිබඳව සුභවාදී විමට නම් යුද අපරාධ සම්භන්දව දැඩි ප්‍රතිපත්ති අනුගමනය නොකල යුතු බවයි.මෙම සංදිස්ථානයේදී එක්සත් ජනපදයට සිදුවූවේද 1987 දී ඉන්දියාව ශ්‍රි ලංකාව සම්භන්දයෙන් මුහුන දුන් තත්වයට සමාන තත්වයකට මුහුණ දීමට සිදුවීමයි.1987 දී ජේ.ආර් ජයවර්ධන ඉන්දු ලංකා සාම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරැවද  එල්.ටී.ටී.ඊ සංවිධානය ඇතුළු දෙමළ කැරළිකරැවන් තවදුරටත් ජේ.ආර් රජයට විරැද්ධව කටයුතු කිරීමේ  තත්වයක් තුල ඔවුන් මර්ධනය කිරීමේ අවශ්‍යතාව ඉන්දීය රජයට ඇතිවිය.


පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේදී ශ්‍රී ලංකාවට විරැද්ධව අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන උසි ගැන්වූ එක්සත් ජනපදයට දැන් මෛත්‍රී-රනිල් පාලනය තුල එම  සංවිධාන නිහඬ කිරීමේ අවශ්‍යතාවය උද්ගතව තිබේ.මෙම සංදර්භය ඇතුලත  යහපාලන රජය විසින් පත් කරන ලද මහ බැංකු අධිපතිවරයා වන දෙමළ ජාතික අර්ජුන් මහේන්ද්‍රන් හා පදනම් වූ මහබැංකු බැඳුම්කර වංචා චෝදනාව මඟින් රනිල් -මෛත්‍රී රජය අර්බුදයක් කරා ගමන් කරනු දැකීමට ඇමරිකාව කෙසේවත් සතුටු නොවීය.සත්‍ය ලෙසම බිස්වාල්ගේ ශ්‍රී ලංකා සංචාරය  ප්‍රධාන ලෙසම රජයේ ශක්තිමත්භාවය වැඩි කිරීමට උපකාර කරවීමේ අවශ්‍යතාවයක් එක්සත් ජනපදයට තිබිනි.

මෙම අවශ්‍යතාවය වඩාත් පැහැදිලි වන්නේ නිශා බිස්වාල් විසින් ශ්‍රී ලංකාව තුල ස්ථාවර සාමය ඇති කිරීමෙන් පසුව එහි ආර්ථිකය  ශක්තිමත්කිරීමේ අවශ්‍යතාවය නිශා බිස්වාල් විසින් අවධාරණය කිරීම මඟිනි. මෙහිදී ඇමරිකාව ශ්‍රි ලංකාව කෙරෙහි අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය වෙනස් කරමින් නව ප්‍රතිපත්තියකින් ශ්‍රී ලංකාව කෙරෙහි ප්‍රතික්‍රීයා කිරීම ආරම්භ කර ඇති බව පැහැදිලිවම දක්වා ඇත.එක්සත් ජනපදය ශ්‍රී ලංකාව කෙරෙහි අනුගමනය කරන ප්‍රතිපත්ති වල ප්‍රමුඛතාවය මුලදී මානව හිමිකම් සඳහා ලබා දුන්නත් දැන් එම ප්‍රතිපත්ති ප්‍රවණතාවය ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ලබා දී ඇත. මෙම තත්වය ශ්‍රී ලංකාවේ සංවර්ධන උපාය මාර්ගික ජයග්‍රහනයකි.



නිශා බිස්වාල් ගේ ශ්‍රී ලංකා ක්ෂණික සංචාරය එක්සත් ජනපදයේ මෙම පනිවුඩය ලංකාවේ රජය වෙත රැගෙන ඒමේ අරමුණින් කරන ලද්දකි.මේ අතරතුර චීන විදේශ අමාත්‍යවරයාද ශ්‍රී ලංකාවේ සංචාරයක් සිදු කල අතර මෙහි  නියම අරමුණ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා පවා නොදනිතැයි තතු දත් ආරංචි මාර්ග පවසයි.චීනය සමඟ සම්භන්දතා ඇති කර ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ තීරණය කල අවස්ථාවේදී සිය විදේශ අමාත්‍යවරයා චීනය සමඟ අතේ දුරින් තබා ගැනීමට අගමැතිවරයා උත්සුක විය.
සත්‍යවශයෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම්භන්දතාවක් නැතිව අගමැතිවරයා සිය චීන සංචාරය සැලසුම් කරන ලදි.මෙයට හේතුව වූවේ  විදේශ අමාත්‍යාංශය තවදුරටත් මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ ආධිපතිත්වයට ලක්ව තිබීමයි.
හම්බන්තොට වරාය,කොලඹ වරාය සහ මත්තල ගුවන්තොටුපල සංවර්ධන සැළසුම් චීනයට භාර දීමේ එකඟතා ගිවිසුම් අත්සන් කරන ලද්දේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දැනුමකින් තොරවයි.ආරම්භයේදී චිනය හම්බන්තොට වරාය වැඩසටහන  මෛත්‍රී-රනිල් රජයෙන් නවතාලීම පිළිබඳව කෝපයෙන් පසු වුවත් චීන අග්‍රාමාත්‍යවරයාගේ ලංකා සංචාරය චීනය නැවත මෙරට සමඟ සුහදශීලී සම්භන්දතා පවත්වා ගෙන යාමට කැමති බව ප්‍රකාශ කරන සලකුණකි.

නිශා බිස්වාල් විසින් ශ්‍රී ලංකාව සඳහා ආර්ථික සැලැස්මක් යෝජනා කිරීමට ප්‍රථමව මෙරටට පැමිණි චීන අගමැතිවරයා චීනය තවදුරටත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික සගයා වශයෙන් ප්‍රකාශ කර ඇත.මෙම තත්වය දකුණු ආසියා කලාපයීය චීන සහ එක්සත් ජනපද බල අරගලය පෙන්නුම් කරන තවත් ඉතාමත් වැදගත් අවස්ථාවකි.මෙම බල අරගල තත්වය උපාය මාර්ගික ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා යොදා ගැනීම විදේශ කටයුතු අමාත්‍යාංශය, සහ අනෙකුත් වගකිව යුතු බලධාරීන්ගේ වගකීමක් වනු ඇත.



මේ අතර ඉන්දියාව නිශා බිස්වාල්ගේ ශ්‍රී ලංකා සංචාරය දැන සිටියද චීන අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිලිබඳව කිසිවක් නොදැන සිටිය බව කිව හැක්කේ ඒ පිලිබඳව ඉන්දියාව දැක්වූ වික්ෂිප්ත ප්‍රතිචාරය නිසාය.මේ අතර ක්‍රිෂ් සමාගම සමඟ නාමල් රාජපක්ෂ සිදු කල ගණුදෙනු පිලිබඳ තොරතුරැ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දීමත් එම තොරතුරැ ක්‍රමිකව ඒකරාශි කර ගැනීමට ඉන්දියාවේ මැදිහත්වීම වැදගත් වීමත් ඉතා කැපී පෙනේ.ලංකා රජය විසින් මෙම තොරතුරැ ඒකරාශී කලේ නම් එය තරමක් දුෂ්කර ව්‍යායාමයක් වනු ඇත.කෙසේ වුවත් මෙලෙස ඉන්දියාව සමඟද චීනය සමඟ මෙන්ම සමතුලිත සම්භන්දතා පවත්වා ගැනීම ලංකාවේ විදේශ ප්‍රතිපත්තීන් වලදී ඉතා වැදගත් වනු ඇත.

අනුරාධ සේනාරත්න( BSc{ Hon's)" ADv Dip in sociology, Adv training in Eng/  http.www,prime news.lk/sinhala"  sera idea blogspot.com

No comments:

Post a Comment