Friday, June 15, 2018

ට්‍රම්ප්-කිම් සමුළුවෙන් හෙලිවූ අභිරහස්

ට්‍රම්ප් - කිම් සමුළුවෙන් හෙලිවූ අභිරහස්



පසුගියදා පැවති ට්‍රම්ප්- කිම් හමුව සඳහා පහසුකම් සැපයීමේ භූමිකාව වෙනුවෙන් සිංගප්පූරැව තෝරා ගැනීමට විශේෂිත හේතු කිහිපයක් තිබේ.අන්තර් ජාතික මට්ටමේ සුවිශේෂ වැදගත්කමකින් යුතු හමුවක් සංවිධානය කිරීම සඳහා සිංගප්පූරැව සතු වන පහසුකම් සහ ආරක්ෂක විධිවිධාන හොඳටම ප්‍රමාණවත් බව මෙයට ප්‍රධානතම හේතුවයි.එලෙසම උතුරැ කොරියාවට භූගෝලීය වශයෙන් වඩාත් සමීපව පිහිටීමයි.නමුත් මෙම කරැණු වලට අමතරව උතුරැ කොරියාව විසින් සිංගප්පූරැවේදී මෙම සමුළුව පැවැත්වීමට අනුමැතිය ප්‍රකාශ කිරීම සඳහා හේතුවූ කවුරැත් නොදන්නා කරැණක්ද තිබේ.පසුගිය අඩ සියවසක් පුරාවට උතුරැ කොරියාවේ වඩාත් සමීප එමෙන්ම රහසිගත රාජ්‍ය තාන්ත්‍රික සගයෙක් ලෙසට සිංගප්පූරැව ඉටු කල වැදගත් කාර්යභාරය මෙලෙස උතුරැ කොරියාව විසින් සිංගප්පූරැව මත දැඩි විශ්වාසයක් තැබීමට ප්‍රධාන හේතුවයි.

1989 දී  සෝවියට් සංගමයේ බිඳ වැටීමත් සමඟම සම්පූර්ණයෙන්ම අන්තර් ජාතික  රාජ්‍ය තාන්ත්‍රික සම්භන්දතා වලින් හුදකලා වූ තත්වයට පත්වූ උතුරැ කොරියාවට එතැන් පටන් සිටියේ රාජ්‍ය තාන්ත්‍රික සගයන් අල්පයකි.1989 පටන්ම උතුරැ කොරියාව සමඟ ඒකාකාරී සමීප රාජ්‍ය තාන්ත්‍රික සම්භන්දතාවක් පවත්වාගෙන ගිය එකම රට සිංගප්පූරැවයි.එමෙන්ම සිංගප්පූරැව එක්සත් ජනපදය සමඟ ඒකාකාරී ස්ථාවර සහ ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සම්භන්දතාවක් දශක ගනනාවක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබේ.



සිංගප්පූරැව සහ උතුරැ කොරියාව අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික සම්භන්දතාවයේ වැදගත් කරැණු මෙලෙස පැහැදිලි කල හැකිය.

1.  අන්තර් ජාතික වලංගුභාවය ලබා ගැනීමට උපකාරවීම

1965 දී සිංගප්පූරැව මළයාසියාවෙන් නිදහස ලබා ගත් අවස්ථාවේදී එහි ස්වාධීනත්වය අන්තර් ජාතිකව පිලිගත් රටවල් කිහිපයෙන් එක් රටක් වූවේ උතුරැ කොරියාවයි.මෙම ක්ෂණික අනුමැතිය සහ පිලිගැනීම  ඒ සමයේදී සිංගප්පූරැවට අන්තර් ජාතික වශයෙන් හොඳ පසුබිමක් නිර්මාණය කිරීමට සමත් වූ අතර වර්තමානයේ එරට දේශීය සහ අන්තර් ජාතික වශයෙන් ගොඩනඟා ගෙන ඇති සාර්ථකත්වයට එදා සහයෝගය බෙහෙවින් උපකාර වී ඇත.

2.  කොමියුනිස්ට්වාදී  රටවල් අතර පිලිගැනීමක් ලැබීමට උපකාරවීම

සිංගප්පූරැවේ පැවැත්මට එවකට එල්ලවූ ප්‍රධාන බාධකය නම්  චීනයේ සහයෝගය ලැබූ මාවෝ වාදී කොමියුනිස්ට් කැරළිකරැවන්ගෙන් එල්ලවූ  තර්ජනයයි.සිංගප්පූරැව යනු ඇංග්ලෝ ඇමරිකානු කඳවුරක් ලෙසට චීනය දැකීම වැළැක්වීමට හේතු වූවේ කොමියුනිස්ට් රාජ්‍යයක් වු උතුරැ කොරියාව විසින් එය අන්තර් ජාතිකව පිලිගනු ලැබීමෙනි.

3. වෙළඳ සම්භන්දතා

1967 දී සිය ගෝලීය සම්භන්දතා ආරම්භ කරමින් 1969 දක්වා ඒකාකාරී විදේශ රාජ්‍යතාන්ත්‍රික ප්‍රගමනයක් උතුරැ කොරියාව විසින් පෙන්නුම් කර තිබේ.මුල් වරට තානාපති කාර්යාලයක් උතුරැ කොරියාව විසින් විවෘත කරන ලද්දේ 1975 දීය.එතැන් පටන් වර්තමානය වන තෙක්ම උතුරැ කොරියාවට කොමියුනිස්ට් රට වලින් පරිභාහිරව තානාපති කාර්යාල පවතිනුයේ අතලොස්සකි.සමුළු සංවිධායකයන් විසින් උතුරැ කොරියානු නායකයාගේ අභිමතයන්ට අනුකූලව පහසුකම් සපයන බව ඔහුට තහවුරැ කල හැකි පරිදි සමුළුවට පහසුකම් සපයන රටේ උතුරැ කොරියානු තානාපති කාර්යාලයක් තිබීම තීරණාත්මක සාධකයකි.

4. නිරන්තර රාජ්‍ය තාන්ත්‍රික නිරීක්ෂණ චාරිකා

උතුරැ කොරියාව විසින් සිංගප්පූරැව වෙත නිරන්තර රාජකාරීමය නිරීක්ෂණ චාරිකා සංවිධානය කරනු ලැබ තිබේ.මෙය සංඛ්‍යාත්මකව අනෙකුත් ඊසාන දිග ආසියානු රටවලට උතුරැ කොරියාව විසින් සිදු කරනු ලැබූ සංචාර වලට වඩා බෙහෙවින් වැඩි වේ.2014 දී උතුරැ කොරියානු විදේශ කටයුතු අමාත්‍ය රී සූ යොංග් විසින් සිංගප්පූරැවේ සංචාරයක නිරත විය .2012 දී උතුරැ කොරියාවේ ජනාධිපතිවරයා විසින් සිංගප්පූරැවේ පැවති උත්තරීතර සමුළුවට සාභාගීවීම සිදුවිය.එසේම වර්ෂ 2008 දී සිංගප්පූරැ විදේශ කටයුතු අමාත්‍ය ජෝර්ජ් ඉයෝ විසින් උතුරැ කොරියාවේ සංචාරයක නිරත විය.



5. ඉහල මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සම්භන්දතා පැවැත්වීම

කිම් ජොන් නාම් හෙවත් කිම් ජොන් උන්ගේ ඝාතනය කරන ලද අර්ධ සහෝදරයා සහ ඔහුගේ පවුල ,  කිම් ජොන් උන් උතුරැ කොරියාවේ බලයට පත්වීමත් සමඟම එරටින් සිංගප්පූරැවේ මකාවූ ප්‍රදේශයට පලාගියහ.මෙලෙසම  ඉහල මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රිකයන් බොහෝ දෙනෙක්  සිය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට මෙන්ම සුපෝගභෝගී භාන්ඩ මිලදී ගැනීමටද සිංගප්පූරැව කරා ගමන් කරන නිසා සිංගප්පූරැවට ආසියාවේ ස්විස්ටර්ලන්තය ලෙසද හඳුන්වනු ලැබේ.

6. වීසා රහිත ගමන් පහසුකම්

2016 වන තෙක්ම උතුරැ කොරියාව වෙත ගමන් කිරීමට වීසා පහසුකම් අවශ්‍ය නොවූ කොමියුනිස්ට් රාමුවෙන් පිට රටවල් අතලොස්ස අතරට සිංගප්පූරැවද අයත්විය.

7. ව්‍යවසායකත්ව පුහුණු උපදේශක සේවා සැපයීම

සිංගප්පූරැ රාජ්‍ය නොවන සංවිධානයක් වන චෝසන් එක්ස්චේන්ග් සමාගම විසින් හුවමාරැ වැඩසටහන් යටතේ  උතුරැ කොරියානු ජාතිකයන් සිය ගනනකට පුද්ගලික අංශයේ ප්‍රවර්ධනයට සහයෝගය ලබාදීම සඳහා පුහුණු වැඩසටහන් දියත් කර තිබේ.

8.  ද්විපාර්ශවික වෙළඳාම

සිංගප්පූරැව සහ උතුරැ කොරියාව අතර වෙළඳාම ඇල්කොහොල් හෙවත් මත්පැන් සහ පාරිභෝගික ආහාර ද්‍රව්‍ය වලට සීමා වුවද සිංගප්පූරැව විසින් එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් උතුරැ කොරියාව වෙත පනවා ඇති සම්බාදක පදනමක් ලෙස උපයෝගී කර ගත් අවස්ථා ද බහුලව දකින්නට ලැබේ.2016 දී චින්පෝ නම් සිංගප්පූරැ නැව් බහාළුම් සමාගම විසින් එක්සත් ජාතීන්ගේ සම්බාදක උල්ලංඝනය කරමින් කොටස් වලට වෙන් කරන ලද රේඩාර් උපාංග කොටස්, මිසයිල, මිග් ප්‍රහාරක ගුවන් යානා සහ එන්ජින් කියුබාවේ සිට උතුරැ කොරියාවට ප්‍රවාහනය කිරීම සම්භන්දව  එක්සත් ජනපද ඩොලර් 125700 ක දඩ මුදලක් අය කරන ලදි.



කෙසේ වුවද 2017 වර්ෂයේදී උතුරැ කොරියාව විසින් දියත් කල න්‍යෂ්ටික අත්හදා බැලීම් ශ්‍රේණියක් හේතුවෙන් එය වෙත පනවන ලද එක්සත් ජාතීන්ගේ සම්බාදක නිසා සිංගප්පූරැ - උතුරැ කොරියා ද්විපාර්ශවික සම්භන්දතා නැවතුන තත්වයක පවතී.ඉහතින් දැක්වුන පරිදි දෙරට අතර ශක්තිමත් ද්විපාර්ශවික සම්භන්දතාවක් ඇති අතර සිංගප්පූරැව , උතුරැ කොරියාවේ මතභේදාත්මක නොවන සහ සමීප මිතුරෙක් බවට පත්ව සිටියි.සිංගප්පූරැවේ හිටපු ජනාධිපති ලී ක්වාන් යූ අභාවප්ප්‍රාප්ත වූ අවස්ථාවේදී උතුරැ කොරියානු අගමැතිවරයා ඔහු උතුරැ කොරියාවේ සමීප මිතුරෙකු ලෙස සඳහන් කලේය.

ඉහත සියළුම කරැණු උතුරැ කොරියාව විසින් සිංගප්පූරැව සිය පහසුකම් සපයන්නා ලෙස තෝරා ගැනීමේදී වැදගත් විය.ලොව වඩාත් ප්‍රබලම ප්‍රජාතන්ත්‍රවාදී දැවැන්තයා , ආසියානු කලාපයේ නාහෙට නාහන රාජ පරම්පරාවක තෙවන පරපුරේ ගැටවරයා සමඟ හරි හරියට උරින් උර ගැටෙමින් සිය ජාතික ධජයන් ඉදිරියේ අභිමානවත් අයුරින් සිටිය යුරැ දැකීම පවා අතිශය සිත්කළු දසුනක් විය.නමුත් පියොංග් යෑංග් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය පිලිබඳව ඔවුන් විසින් එකඟ වන ලද එකඟතාවය ඉතා කෙටි විය.එහිදී කිම් ජොන් උන් කොරියානු අර්ධද්වීපය  සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික අවි වලින් තොර කිරීමට එකඟතාවය ප්‍රකාශ කරන ලදි.

සිංගප්පූරැ හෝටලයේ අති සුපෝ්ගභෝගී පරිසරය ද්විපාර්ශවික සිනහවෙන් සහ සුභ පැතුම් වලින් පිරී යන අතර එම දසුන් එසැනින් ලොව පුරා චන්ද්‍රිකා තාක්ෂණයෙන් සජීවීව දර්ශනය කිරීමට සලස්වන ලදි.මෙහිදි එක්සත් ජනපද ජනපති ට්‍රම්ප් විසින් උතුරැ කොරියාව සඳහා ආරක්ෂාව පිලිබඳ සහතිකයක් ලබා දෙමින් සාකච්ඡා තව දුරටත් දිරිමත් කිරීම අරමුණු කරන්නට ඇති බව පෙනී යයි.

සාකච්ඡා වල දැනට පවතින ප්‍රගතිය ජනමාද්‍ය ශිර්ෂපාඨ මඟින් අතිශෝකිතියෙන් දැක්වීම පිලිබඳව මෙම සුහද හමුවේදී විවේචන එල්ල විය.ජනමාද්‍ය හමුවේදී ට්‍රම්ප්ගෙන් න්‍යෂ්ටික අවිහරණ වැඩපිළිවෙල පිලිබඳව විමසූ විට ඔහු ප්‍රකාශ කලේ " එම ක්‍රියාමාර්ගය අප ආරම්භ කර ඇත.එය ඉතාමත් ඉක්මනින්ම ඇරඹෙනු ඇති"බවයි.නමුත් නායකයන් දෙදෙන ඇති කර ගත් එකඟතාවයේ කිසිදු තැනක එක්සත් ජනපදය විසින් මුලදී ඉල්ලා සිටින ලද  පරිදි සම්පූර්ණ, නැවත යථා තත්වයට පත් කල නොහැකි ලෙස න්‍යෂ්ටික අවි මුළුමනින්ම විනාශ කල යුතු බවත් න්‍යෂ්ටික අවි පරීක්ෂකයන්ට පරීක්ෂා කිරීමට ඉඩ ලබා දියයුතු බවත් කිසිදු තැනක සඳහන් නොවීය.




ඇතැම් දේශපාලන සහ ආරක්ෂක විචාරකයන් පවසන පරිදි උතුරැ කොරියාව මෙම ආකාරයේ එකඟතාවයන්ට මෙයට පෙර  අවස්ථා  කිහිපයකදීම සිය එකඟතාවය ප්‍රකාශ කර තිබේ.නමුත් ගැටළුව වන්නේ මෙකී ද්විපාර්ශවයම මේ දක්වාම න්‍යෂ්ටික අවිහරණය යන්නෙන් අදහස් වන්නේ කුමක්දැයි යන්නට දක්වන වෙනස් ප්‍රතිචාරයයි.

මුල් අවස්ථා වල " පිස්සු මිනිසා" ලෙස උතුරැ කොරියානුවන්ගෙන් අපහාසයට ලක්වූ එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාත් " පුංචි රොකට් මිනිසා" ලෙස ඇමරිකානුවන්ගේ චෝදනාවට ලක්වූ උතුරැ කොරියානු නායක කිම් ජොන් උන්ද මධ්‍යස්ථ සිංගප්පූරැ පහසුකම් සපයන්නා තුල සුභ පැතුම් සහ සිනහවන් හුවමාරැ කිරීම ලෝක සාමයට විශාල ජවයක් විය.

මුලදී බහුවිද මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා ලද සහ සිය සහෝදරයා පසුගිය වසරේදී මලයාසියානු ගුවන් තොටුපලේදී මරා දැමීමට සැක කරන කිම් ජොන් උන් සමඟ " විශේෂිත බැඳීමක්"ඇති කර ගත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.


ඔවුන් ආරම්භයේදී හමුවූ හෝටල් කොරිඩෝවේදී සමුගැන්ම සඳහා හමුවෙමින් ට්‍රම්ප් පැවසුවේ " අප නැවත වතාවක් හමුවන්නෙමු" යනුවෙනි.එසේම එය නැවතත් ට්‍රම්ප් පැවසූවේ එම වදන තරමක් සංශෝධනය කරමිනි."අපි නැවත නැවත හමුවන්නෙමු" යනුවෙන් ඔහු පැවසීය .එසේම ට්‍රම්ප් පැවසුවේ ඔහු " ඒකාන්තයෙන්ම කිම්ට ධවල මන්දිරයේ සංචාරයකට ආරාධනා කිරීමට බලවත් කැමැත්තකින් සිටින බවකි."

එයට ප්‍රතිචාර ලෙස කිමි පවසා සිටියේ " සීතල යුද සමයේ විරැද්ධවාදීන් දෙදෙනෙකු සහ එයට පසුද විරැද්ධවාදීන් වූ තම දෙරට අතීතය පසෙකින් තබා ලෝකයට විශාල වෙනසක් පෙන්වීමට එකඟ වූ බවකි."මෙයට මසකට පෙරත් වොෂින්ටනය සහ පියොංග් යෑංග් අතර දරැණු මතභේදකාරී තත්වයක් ඇතිව තිබූ අතර පසුගිය වසරේ අග භාගයේදී  දෙරටේ නායකයන් එකිනෙකාට පුද්ගලික ලෙසින් අපහාස කර ගැනීම්ද වාර්තා විය.මෙහි ප්‍රතිපලයක් ලෙස උතුරැ කොරියාව විසින් මිසයිල සහ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් රැසක්ම සිදු කරන ලදි.



දිනය ආරම්භයේදීම ට්‍රම්ප් සහ කිම් යන නායකයන් දෙපළ උණුසුම් සුහදශීලී වචන හුවමාරැවක යෙදුන අතර මිනිත්තුවක් පමණ එකිනෙකා අතට අත දී සුභ පතනු දැකිය හැකි විය.එමෙන්ම ට්‍රම්ප් සිය දකුණු උරහිස   උතුරැ කොරියානු නායකයාට ස්පර්ෂ වන ලෙසම සමීපව සිටියේය.

ඔවුන් මුහුනට මුහුන වාඩි වී සාකච්ඡා කරන පලමු මිනිත්තුව ඇතුලතම උතුරැ කොරියානු නායකයා සමඟ එකඟතාවයකට පැමිණීමට හැකි වන බව තමාට දැනුන බව ට්‍රම්ප් පසුව පවසා තිබිනි.එය සාකච්ඡා වලට ප්‍රථම තමා සිතූ පරිදි උතුරැ කොරියානු නායකයා සමඟ" භයානක සම්භන්දතාවයක් ඇතිකර ගැනීමට" හාත්පසින්ම වෙනස් තත්වයක් බව ට්‍රම්ප් අවධාරණය කලේය.

මේ අතර දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ විසින් මෙම හමුව සජීවීව රෑපවාහිනිය ඔස්සේ නරඹමින සිය කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කර සිටියේ " මට ඊයේ රෑ නිදාගන්න හුඟක් අපහසු වුනා" යනුවෙනි.මිනිත්තු 40 ක් පමණ සුහද ඇසුරකින් පසු ට්‍රම්ප් හා කිම් ඔවුන්ගේ ජේෂ්ඨ උපදේශකයන් හා සම්භන්ද වීම සිදුවිය.ඒ දිවා ආහාරයට ප්‍රථමවයි.

දිවා අාහාරය සඳහා ඉස්සන් කොක්ටේලයක්, ෂෝට් රිබ් කොන්ෆිට්, සෝයා සහිත කොඩ් මත්ස්‍ය ආහාරයක් සහ වැනිලා අයිස්ක්‍රීම් යන තේරීම් තිබුනි.

මෙම ඉහල මට්ටමේ හමුව පිලිබඳ අදහස් දැක්වූ ඩොන්ගුක්  විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කිම් යොන්ග් හ්‍යුයුන්ග් ප්‍රකාශ කර සිටියේ "සමුළුව පැවැත්වෙන ආකාරය අතිශය සුභවාදී මෙන්ම ගෝලීය සහ කලාපයීය සාමය පිලිබඳ බලාපොරොත්තු මල්ඵල ගන්වන්නක්  " බවයි."මෙම මට්ටමේදී සැලකිය යුතු එකඟතාවයකට පැමිණීම අසීරැ වුවත් ආරම්භයක් ලෙස මෙම තත්වය  සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වන බවක් "හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.



උතුරැ කොරියානු නායකයාට ගිවිසුම අත්සන් කිරීමේදී මේසය මත තබා තිබූ පෑන වෙනුවට ඔහුගේ පුද්ගලික ලේකම්වරිය වූ සිය නැගෙනිය විසින්  පෑනක් ලබා දීම මෙම සමුළුවේදී මාද්‍යවේදීන් දුටු විශේෂිත සිදුවීමකි.අදාල පෑන ග්‍රහණය ඔස්සේ ඔහුගේ ජීව දත්ත අනවශ්‍ය පාර්ශවයක් වෙත සම්ප්‍රේශනය විය හැකි බවත් එයින් මඟහැරීමට මෙය සිදුකරන ලද බවත් මේ සම්භන්දව විමසීමේදී ආරක්ෂක විශේෂඥයෙකු පවසා තිබිනි .එමෙන්ම උතුරැ කොරියානු නායකයා පැමිණි ගුවන් යානයේම වැසිකිලි සහ ස්නානය සඳහා පහසුකම් සලසා තිබිනි.එමඟින්ද බලාපොරොත්තු වී ඇත්තේ ඔහුගේ ජීව දත්ත එක්සත් ජනපද හෝ මොසාඩ් වැනි රහස් ඔත්තු සේවා අතට පත්වීම වැළැක්වීම ලෙස අදාල විශේෂඥයා වැඩිදුරටත් පවසා තිබිනි.

ගින්දර සහ පුළුන්

නමුත්  මෙම හමුවීම පිලිබඳ ඉදිරිපත්ව ඇති විවේචන වලින් ප්‍රකාශ වනුයේ නිරන්තර මානව හිමිකම් උල්ලංඝනයවීම් සිදුවන උතුරැ කොරියාව තුල වර්තමානයේ ඇති පොලිස් පාලනයට ගෝලීයව පිලිගැනීමක් ලබා දෙමින් නීතිගතකිරීමට ට්‍රම්ප් කටයුතු කල බවයි.

නැගෙනහිර ආසියානු ක්‍රයිස් ගෲප් සංවිධානයේ ජේෂ්ඨ උපදේශිකාවක් වන මිචෙල් කොව්රිග් පවසනුයේ න්‍යෂ්ටික වැඩපිළිවල මෙන්ම න්‍යෂ්ටික ආයුද වලින් සන්නද්දව සිටියදීම මුහුනට මුහුන එක්සත් ජනපද ජනපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබීම උතුරැ කොරියා නායකයා ලැබූ ගෞරවයක් සහ කුමන්ත්‍රණ වැඩසටහනක ජයග්‍රහණයක් බවයි.

කෙසේ වුවද උතුරැ කොරියානු- එක්සත් ජනපද උණුසුම් සුහදශීලී හමුව නව යුගයක නව ඇරඹුමක් බව පෙනේ.පියොංග් යෑංග් භූමිය එක්සත් ජනපද ප්‍රහාරක බලයෙන් අළු දූවිලි බවට පත් කරන බව ගිගිරෑ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිවරයා සහ එක්සත් ජනපදයට අමතක නොවන පාඩමක් උගන්වන බවත් ට්‍රම්ප් මහළු උන්මත්තකයෙකු බවත් (mentally deranged US dotard)තර්ජනය සහ අපහාස කරමින් න්‍යෂ්ටික හා මිසයිල පරීක්ෂණ මාළාවක්ම සිදුකල උතුරැ කොරියානු නායකත්වයත්  අතර මෙලෙස සාමයට මාවත සැකසී ඇත.


1972 දී එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන්ගේ චීන සංචාරය සහ 1986දී එවකට සෝවියට් ජනාධිපති වූ මිකායෙල් ගොර්බචෝප් හා එක්සත් ජනපද හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්  අතර හමුවක් සිදුවූ රෙක්ජෙවික් සමුළුව ද මෙම ආකාරයේ සමුළු වලට සමානකම් දක්වයි.

අවිශ්වාසය තුලින් විශ්වාසය ගොඩනඟමින් යන ඇමරිකා- උතුරැ කොරියා සාම මාවතේ අනාගතය කුමක් වනු ඇත්ද?

AFP පුවත් සේවය, රොයිටර් පුවත් සේවය, The US guardian, world political review සහ ෂින්හුවා ඇසුරෙනි.

අනුරාධ සේනාරත්න.





No comments:

Post a Comment