Saturday, June 9, 2018

ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් අවශ්‍යද?

ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් අවශ්‍යද?




රටක් විසින් තෝරා ගන්නා ලද ජීවත්වීමේ ආකාරය ව්‍යවස්ථාව වශයෙන් ඇරිස්ටෝටල් හඳුන්වා දුන්නේය.රටක පවතින රජයට මඟ පෙන්වීම සඳහාත් රටවැසියන් පාලනය කිරීම සඳහාත් ලොව සෑම රටකටම ව්‍යවස්ථාවක් පවතී.රජය මෙන්ම රටවැසියන්ද එම ව්‍යවස්ථාවට ගරැකිරීමට බැඳී සිටියි.මේ අනුව ව්‍යවස්ථාමය නීතීන් සමන්විත වනුයේ රජයේ බලතල හා වගකීම් සංග්‍රහයකින්, රජය හා රටවැසියන් අතර සම්භන්දතාවයේ ස්වභාවය දැක්වෙන සංග්‍රහයකින් සහ රටවැසියන්ගේ හිමිකම් සහ වගකීම් පිලිබඳ විස්තර කිරීමකිනි.

මහාචාර්ය ඩයිසි ට අනුව ස්වාධිපත්‍යය බලය භාවිතය සහ ව්‍යාප්තිය  කෙරෙහි සෘජුවම හෝ වක්‍රාකාරව බලපාන්නාවූ ඉහත නීතීන්ගේ සංකලනයක් ව්‍යවස්ථාව ලෙස හඳුන්වනු ලැබේ.මේ නිසා ව්‍යවස්ථාව තුල අන්තර්ගත වන්නේ රටේ ස්වභාවය තීරණය කරන්නාවූ පාර්ලිමේන්තු ක්‍රමය ,  ජනාධිපති ක්‍රමය හෝ වෙනත් නමකින් හඳුන්වනු ලබන පදනමක මූලික සිද්ධාන්තයන්ය.රජයේ විවිධ අංශ වලට රාජ්‍ය බලය ව්‍යාප්තිය පිලිබඳ සැලසුම සකස් කරන්නේ මෙකී ව්‍යවස්ථාව මඟිනි.ව්‍යවස්ථාදායක, විධායක හා නෛතික යන බල යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කිරීමේදී ඒවා ක්‍රියාත්මක කරවිය යුතු මූලික සිද්ධාන්තයන් ව්‍යවස්ථාවක් මඟින් විස්තර කරයි.



ව්‍යවස්ථාව යනු සෑම රටකම උත්තරීතර නීතියයි.ශ්‍රී ලංකාව සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම රජය විසින් අරඹන ලද්දේ 2017 වර්ෂයේ අගභාගයේදීය.මෙම ලිපියේ අරමුණ වන්නේ ව්‍යවස්ථා ඉතිහාසය , ව්‍යවස්ථා වල තාර්කික පදනම සහ ගෝලීය සහ දේශීය ව්‍යවස්ථා වල නව ප්‍රවණතා පිලිබඳව විශ්ලේෂණාත්මක විමර්ෂණයක් ඉදිරිපත් කිරීමයි.

ව්‍යවස්ථා ඉතිහාසය



1947 ශ්‍රී ලංකා නිදහස් පනත අන්තර්ගත වූවේ සොල්බරි ව්‍යවස්ථාව යටතේයි.වර්තමාන ශ්‍රී ලංකාව එදා හඳුන්වන ලද්දේ සිලෝන් ලෙසයි.සොල්බරි කොමිෂම මඟින් එවකට ලංකාව සඳහා පාර්ලිමේන්තුවක ස්වරෑපය සහිත රජයක් හඳුන්වා දෙන ලදි.1958 ජනවාරි 10 දරන ව්‍යවස්ථාවේ 29:2 දරන පරිච්ඡේදය මඟින් ලංකාවේ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිලිබඳ ව්‍යවස්ථාමය ආවරණය සකස් කෙරිනි.

එවකට පැවති ව්‍යවස්ථාව නැවත සලකා බැලීම සඳහා රජය විසින් සෙනෙට් සභිකයන්ගෙන් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සමන්විත ඒකාබද්ධ තේරීම් කමිටුවක් පත් කරනලදි.නමුත් මෙම කමිටුවට අවසාන එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ අතර 1968 දී දරන ලද මෙයට සමාන උත්සහයක්ද ව්‍යයර්ථ වී ගියේය.

1970 මැයි මස සිරිමාවෝ බන්ඩාරනායක මැතිණිය ලෝකයේ පලමු අගමැතිණිය ලෙස තේරී පත්වීම සිදුවූවේ මේ අතරවාරයේයි.ඇයගේ සමඟි පෙරමුණු රජය විසින් සමස්ථ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් ලෙස භාවිතා කරමින් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන ලදි.එම ව්‍යවස්ථාව සම්මත කර ප්‍රසිද්ධ කරනු ලැබුවේ 1972මැයි මස 22 වන දිනයි.මෙම ව්‍යවස්ථාව මඟින් වසර 6 ක කාලයක් සඳහා බල පැවැත්වෙන ජාතික රාජ්‍ය සභාව නම් තනි නීති සම්පාදක මණ්ඩලයක් නිර්මාණය කලේය.රටේ ස්වෛරීත්වයේ වගකීම මුළුමනින්ම එය මත පැවරිණි.රජයේ ප්‍රධානියා වශයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් වසර 4ක ධූර කාලයක් සඳහා නාමික ජනාධිපතිවරයෙක් පත් කරන ලදි.අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වූ අතරම ජාතික රාජ්‍ය සභාවේ වගකිවයුත්තාද විය.මෙහිදී සිලෝන් යන්න ශ්‍රී ලංකා ජනරජය ලෙස වෙනස්ව හඳුන්වන ලදි.



1977 පැවති මහ මැතිවරණයට පෙර සිටම එක්සත් ජාතික පක්ෂය විසින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ජනතා වරමක් අපේක්ෂා කරන ලදි.ඒ සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීම මඟින් එවකට පැවති ව්‍යවස්ථාව පිලිබඳ පුනරීක්ෂණයක්  ද සිදුකරන ලදි.ඒ අනුව 1978 සැප්තැම්බර් 7 වන දින නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන ලද අතර 1948  ශ්‍රී ලංකාව නිදහස ලැබූ දා පටන් මෙරටට හඳුන්වා දුන් තෙවන ව්‍යවස්ථාව මෙයයි.මෙමඟින් විධායක ජනාධිපතිධූරය හා එක් මණ්ඩලයකින් සමන්විත පාර්ලිමේන්තු ක්‍රමයක් (Unicameral parliament) හඳුන්වා දෙන ලදි.මෙම ව්‍යවස්ථාවෙන් මනාප ක්‍රමය මත පදනම් වූ  සමානුපාතික මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන ලදි.

මෙම ව්‍යවස්ථාව මඟින් ස්වාධීන අධිකරණ පද්ධතියක් සහ මූලික මානව අයිතිවාසිකම් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි.මේ නිසා සිය මූලික අයිතිවාසිකම් කඩවූ රටේ ඕනෑම පුරවැසියෙකුට සාධාරණය ඉටුකර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ අයිතිවාසිකම ලැබිනි.



2016 ජනවාරි මසදී වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නැවත වතාවක් සමස්ථ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කිරීම මඟින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා අවශ්‍යවූ අත්‍යාවශ්‍ය රාමුව සකස් කරන ලදි.මේ අනුව නව ව්‍යවස්ථාවක් සක්‍රීය කිරීමේ අරමුණින් 2016 අප්‍රේල් මසදී ශ්‍රී ලංකාවේ සමස්ථ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් බවට පරිවර්තනය විය.සභාපතිවරයෙක්, උප සභාපතිවරැන් 7 දෙනෙක් සහ කමිටු සාමාජිකයන් 21 කින් සමන්විත පාර්ලිමේන්තු කාරක සභා කමිටුවක් (steering committee)පත් කරන ලදි.මෙහි සභාපතිවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා ඒකඡන්දයෙන් තේරී පත්විය.

මෙහිදී පත් කරන ලද උප කමිටු 6 ක් මඟින් විවිධ මාතෘකා වලට අදාල පුළුල් මහජන මතය පදනම් කර ගනිමින්   සිය විශ්ලේෂණ වාර්තාවන් ඉදිරිපත් කරන ලදි.කාරක සභාව විසින් මෙම උප කමිටු වාර්තා පිලිබඳ සලකමින් සිය වාර්තාව කෙටුම්පත් කරන ලදි.මෙලෙස කෙටුම්පත් කරන ලද ව්‍යවස්ථාව ව්‍යවස්ථාදායක සභාව විසින් 2/3 ක බහුතරයකින් අනුමත කල විටෙක එය අදහස් හා මත විමසීම සඳහා පළාත් සභා වලට යවනු ලැබීම සිදු කරයි.අවසාන වශයෙන් ජනමත විචාරණයක් ඔස්සේ එය මහජන අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබේ.මෙම වාතාවරනය යටතේ ව්‍යවස්ථාවල වර්ගීකරණය , ඒවා පරිවර්තනය කිරීමේ ක්‍රමවේදය සහ වෙනස් කිරීමේ විතර්කයන් පිලිබඳ අවබෝධ කර ගැනීම ඉතා වැදගත්ය.

ව්‍යවස්ථා වර්ගීකරණය



ව්‍යවස්ථාවක් ලිඛිත හෝ අලිඛිත වුවද,  නම්‍යශීලී හෝ අනම්‍යශීලී වුවද , ජනපති/පාර්ලිමේන්තු/සමූහාණ්ඩු/දේශපාලන/නෛතික වුවද, ඒ සෑම ව්‍යවස්ථාවක් සඳහාම එක් පොදු වූ කරැණක් පවතී.ඒ සෑම ව්‍යවස්ථාවක්ම රටේ ජනතාවගේ උත්තරීතර ගෞරවයට පාත්‍ර වීමයි.ප්‍රධාන ලෙසම ව්‍යවස්ථාවන් ආකාර දෙකකට වර්ගීකරණය කල හැකිය.පලමුව ලිඛිත හා අලිඛිත ලෙසත් දෙවනුව නම්‍යශීලී හා අනම්‍යශීලී ලෙසත් මෙලෙස වර්ගීකරණය කල හැකිය.

ලිඛිත ව්‍යවස්ථාවක් යනු පොතක ආකාරයකින් හෝ පොතක් ලෙස සංවිධිත කල හැකි ලේඛන ශ්‍රේණියක් ලෙස රචනය කර ඇති ව්‍යවස්ථාවකි.එය සචේතනික ලෙසම රාමුගත සහ ක්‍රියාත්මක කරන ව්‍යවස්ථාවකි.එය ව්‍යවස්ථාපිත සභාවකින් මන්ත්‍රණ සභාවකින් හෝ නීති සම්පාදන මණ්ඩලයකින් කෙටුම්පත් කර සම්මත කරන ලද්දකි.ලිඛිත ව්‍යවස්ථාවක් අනුමත කල හැක්කේ එම ව්‍යවස්ථාවේම  දක්වා ඇති නිශ්චිත සම්මත ක්‍රමවේදයක් ඔස්සේ පමණි.එක්සත් ජනපදය, ඉන්දියාව, ජර්මනිය, ජපානය, කැනඩාව, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ලිඛිත ව්‍යවස්ථා ඇත.

ව්‍යවස්ථාදායක සභාවක් මඟින් කෙටුම්පත් කර අනුමත නොකරන ලද මෙන්ම ලිඛිතව නොලියවුන ව්‍යවස්ථාවක් අලිඛිත ව්‍යවස්ථාවක් ලෙස සලකයි.එය අතීත සන්නස්, නීති සහ සම්මුති විලසින් දකින්නට තිබේ.එය ක්‍රමානුකූල සහ සෙමෙන් සිදුවන පරිනාමයක අතරමැද දක්නට ලැබෙන ප්‍රතිඵලයකි.මෙම ආකාරයේ රජයන් හොඳින් සංවිධිත අතර එහි පාලන ක්‍රියාකාරීත්වයන් මැනවින් ස්ථාපිත නමුත් ඒවා මුළුමනින්ම ලිඛිත නීති සහ ලිඛිත සම්ප්‍රදායන් ලෙස නොපවතී.රටේ මිනිසුන්ට ඔවුන්ගේ ව්‍යවස්ථාව පිලිබඳ හොඳ අවබෝදයක් තිබේ.රටවැසියන් එය නෛසර්ගිකව අනුමත කරමින් එය පිලිපදිති.මෙලෙස අලිඛිත ව්‍යවස්ථාවක් පොතක ස්වරෑපයෙන් අන්තර්ගත නොවේ.කෙසේ වුවත් අලිඛිත ව්‍යවස්ථාවක් සම්පූර්ණයෙන්ම අලිඛිත නොවේ.එහි සමහර කොටස් ලිඛිත ස්වරෑපයෙන් පවතින අතර මෙම කොටස් නෛතික ලේඛනයක් ලෙස හෝ  පොතක් ලෙස හෝ ඛේතයක් ලෙස හෝ පිලිනොගනී.අලිඛිත ව්‍යවස්ථාවකට හොඳම නිදසුනක් ලෙසඑක්සත් රාජධානියේ ව්‍යවස්ථාව හැඳින්විය හැක.


නම්‍යශීලී ව්‍යවස්ථාවක් ඉතා පහසුවෙන්ම සංශෝධනය කල හැකිය.සාමාන්‍ය නීතියක් සම්මත කරන අයුරින් ව්‍යවස්ථා සංශෝධනයක් මෙහිදී සම්මත කරනු ලබයි.බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාව නම්‍යශීලී ව්‍යවස්ථාවකට ඉතා හොඳ නිදසුනක් සපයයි.බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුලදී සුළු බහුතරයකින් ඕනෑම නීතියක් හෝ ව්‍යවස්ථා නීතියක්  සංශෝධනය කිරීමට පුළුවන.මෙයට සාපේක්ෂව අනම්‍ය ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීම පහසු නොවේ.එය සංශෝධනය කිරීමේ ක්‍රියා පිළිවෙත ඉතා දුෂ්කර විය හැකියි.එය සංශෝධනය කිරීම සඳහා ව්‍යවස්ථාපිතයට සංශෝධනය කිරීමේ පනතක් සම්මත කිරීමට සිදුවන්නේ මුළු පාර්ලිමේන්තුවෙන් 3/4 හෝ 2/3 වැනි බහුතරයකිනි.නමුත් සාමාන්‍ය නීතියක් සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ සුළු බහුතරයක මනාපය ප්‍රමාණවත්ය.අනම්‍ය ව්‍යවස්ථාවක් බොහෝ දුරට භූමියේ මූලික සිද්ධාන්තයන් පදනම් කොට සකස්වූවක් වේ.එය ස්වෛරී ජාතියක මූලික කැමැත්ත ලෙස හඳුන්වා දිය හැක.උදාහරණ ලෙස භෞමික අකඃන්ඩතාවය, ඒකීයභාවය, ස්වෛරීභාවය යන සංකල්ප සමඟ බැඳුන ව්‍යවස්ථාවන් හැඳින්විය හැක .

මේ නිසා මෙවන් අනම්‍ය ව්‍යවස්ථාවන් සංශෝධනය කිරීම සඳහා විශේෂිත සංශෝධනය කිරීමේ ක්‍රියා පිළිවෙතක් මඟින් සංශෝධනය කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ බහුතරයක ඡන්දයෙන් සම්මත විය යුතු අතරම ජනමතවිචාරණයක් ඔස්සේ එය ජනතාව විසින් අනුමත කල යුතුය.මෙවන් දැඩි අනම්‍ය ව්‍යවස්ථාවකට හොඳ නිදසුනක් නම් එක්සත් ජනපදයේ ව්‍යවස්ථාවයි.




ව්‍යවස්ථා සංශෝධනය, ව්‍යවස්ථා විස්තාපනය(ඉවත් කිරීම), නව ව්‍යවස්ථා නිර්මාණය කිරීම,ව්‍යවස්ථා සංශෝධන ඒකාබද්ධ කිරීම යන අංශ ව්‍යවස්ථා පරිවර්තනයේදී විවිධ අරමුණු සපයයි.මේවා ව්‍යවස්ථා පරිනාමයේ සංවිධිත යාන්ත්‍රණයන් ලෙස හැඳින්විය හැකිය.

ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පලමු ආකාරය ලෙස පරිච්ඡේද වෙනස් කිරීම දැක්විය හැකිය.මෙලෙස ව්‍යවස්ථා සංශෝධනයන් එක් කිරීම හෝ ඉවත් කිරීම මඟින් පවතින ව්‍යවස්ථාවේ අකඃන්ඩ පැවැත්ම සිදුවේ.එක්සත් ජනපදයේ ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහ‍ා සෙනෙට් සභිකයන් සහ නියෝජිත මහජන මන්ත්‍රී මණ්ඩලයේ සමස්ථ ඡන්ද වලින් 2/3 ක බහුතරයක් සහිතව හෙවත් සමස්ථ දේශයේ ව්‍යවස්ථාපිත නියෝජිතයන් 2/3 ක බහුතර ඡන්දයෙන් එම සම්මුති ව්‍යවස්ථා ව සංශෝධනය විය යුතුයි.එසේම එකී සංශෝධනයන්ට ජනමතවිචාරණයක් හරහා ජනතාවගේ අනුමැතිය ලබා දීමෙන් පසු පමණක් එම සංශෝධන ව්‍යවස්ථාවට එක් කිරීම සිදු කරයි.එක්සත් ජනපද ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ඇරඹුනු 1789 මාර්තු 04 වන දා සිට මේ දක්වා එක්සත් ජනපද කොන්ග්‍රසය විසින් ව්‍යවස්ථා සංශෝධන 33 ක් 2/3 ක බහුතර ඡන්දයෙන් අනුමත කරන ලදුව ජනමතවිචාරණය සඳහා සමාජගත කරනු ලැබ තිබේ.මෙලෙස ඉදිරිපත් කල ව්‍යවස්ථා සංශෝධන 27 ක් ජනමතවිචාරණ වලදී ජනතාව විසින් අනුමත කරන ලද අතර එම සංශෝධන පමණක් ව්‍යවස්ථාවට එකතු කරන ලදි.පලමු සංශෝධන 10 හිමිකම් පිලිබඳ පනත් වන අතර ඒවා සෑම එකක්ම ජනමතවිචාරණ වලදී අනුමත කරන ලදි.මෙයින් ව්‍යවස්ථා සංශෝධන හයක් ජනමතවිචාරණය සඳහා ඉදිරිපත් කරන ලදුව අවශ්‍ය බහුතරයෙන් මහජනතාව විසින් අනුමත නොකරන ලදි.



ඉන්දියාවේද ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයෙන් අනුමත විය යුතුය.සමහර වෙනස් තත්ව වලදී 2/3 ක බහුතරය ලැබීමත් සමඟ ඉහත සඳහන් ක්‍රියා පිළිවෙතද එකී සංශෝධන සම්මත කර ගැනීමට අනුගමනය කරනු ලැබේ.ඉන්දීය ව්‍යවස්ථාව 1950 සම්මත වීමෙන් අනතුරැව 2016 සැප්තැම්බර් වන විට ඒ සඳහා සංශෝධන 101ක් සිදු කර තිබේ.

ශ්‍රී ලංකාවේද බොහෝ ව්‍යවස්ථා සංශෝධන සඳහා පාර්ලිමේන්තු 2/3 ක බහුතරයකින් සම්මත වීම අවශ්‍යවේ.විශේෂයෙන්ම භාෂාවේ වගන්තීන් සංශෝධනයේදී ජනමතවිචාරණයක් සිදු කල යුතුමය .ශ්‍රි ලංකාවේ ව්‍යවස්ථාව 1978 ක්‍රියාත්මක කල දා පටන් මේ වන විට එයට ව්‍යවස්ථා සංශෝධනයන් 19 ක් එක් කර තිබේ.මේ වන විට 20 වන ව්‍යවස්ථා සංශෝධනයද සම්මත කිරීමට සූදානම් වෙමින් පවතී.

දෙවන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ ආකාරය නම් පවතින ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම වෙනත් ව්‍යවස්ථාවක් මඟින් විස්ථාපනය කිරීමයි.නීතියේ පවතින නියමිත ක්‍රමවේදයන් අනුගමනය නොකරමින් ව්‍යවස්ථාවක් ඉවත් කර නව ව්‍යවස්ථාවක් ස්ථාපනය කිරීම සිදු වන්නේ විප්ලවයකින් පවතින රජයක් පෙරලීමකදී හෝ විදේශ ආක්‍රමණයකින් නිදහස් වීමේදීය.



නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමකදී පවතින ව්‍යවස්ථාවේ පවතින විධිවිධාන පරිදි එම ව්‍යවස්ථාව ඉවත් කරමින් නව ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම සාමාන්‍ය සිරිත සහ ක්‍රමවේදය වේ.ස්පාඥ්ඥය , පෘතුගාලය , ග්‍රීසිය වැනි සමහර බටහිර යුරෝපීය රටවල ව්‍යවස්ථාවන් ඉවත් කරමින් නව ව්‍යවස්ථාවන් එක් කර ගැනීම ඉතා සුලභ කරැණකි.නමුත් එම කලාපයේම  රටවල් වන නොර්වේ, බෙල්ජියම සහ ඩෙන්මාර්කය වැනි රටවල් සැලකීමේදී  එම රටවල ව්‍යවස්ථා ස්ථාපිත කරඇත්තේ 19 වන සියවසේ තරම් ඈත අතීතයකයි.1789 සිට මේ දක්වා ප්‍රංශයට පාලන සමයන් 12 ක් සහ ව්‍යවස්ථා සංශෝධන 13 ක්පමණක් තිබේ.සියළු ලතින් ඇමරිකානු රටවල ව්‍යවස්ථාවන් 1978 සිට මේ දක්වා අවම වශයෙන් එක් වතාවක් වත් සංශෝධනයට ලක්ව තිබේ.



ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ තෙවන ආකාරය නම් කිසිදු වාඛ්‍යමය වෙනසකින් තොරව සංශෝධනයන් එකිනෙක ඒකාබද්ධ කිරීමයි.වර්ෂ 1874 සිටම ස්විස්ටර්ලන්තයේ ව්‍යවස්ථාවේ සිදු කර ඇත්තේ  එක් කරන ලද විවිධ සංශෝධනයන් ඒකාබද්ධ කිරීමෙන් නව ව්‍යවස්ථාවේ පරිච්ඡේදයන් නිර්මාණය කර ඇත.මෙහි මෙකී නව ව්‍යවස්ථාව බලාත්මක කරන ලද්දේ 2000 වර්ෂයේ පැවති ජනමතවිචාරණයක් මඟිනි.

ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ සාම්ප්‍රදායික නොවන ක්‍රමය නම් ව්‍යවස්ථාවේ  පරිච්ඡේද වල වෙනසක් නොකරමින් ව්‍යවස්ථාමය අධිකරණ පාලනයක් මඟින් එය වෙනස් කිරීමයි.අධිකරණමය බලපෑම ඔස්සේ ව්‍යවස්ථාමය වෙනසක් සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් සකසනු ලැබේ.



අපැහැදිලි වුවද ව්‍යවස්ථාමය සංශෝධන සඳහා විධායක සහ ව්‍යවස්ථාදායක තීරණ මෙන්ම ඇතැම් දේශපාලඥයන්ගේ සාම්ප්‍රදායික නොවන ක්‍රියාකාරීත්වයන්ද විශාල ලෙස බලපායි.උදාරනයක් ලෙස පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී ජනාධිපතිවරයා විසින් සිය පුද්ගලික වාසිදායක තත්වය පදනම් කර ගනිමින් විධායක ජනාධිපතිධූරයේ බලතල වැඩි කර ගැනීමට කටයුතු කිරීම දැක්විය හැකිය.

අනුරාධ සේනාරත්න







No comments:

Post a Comment