Saturday, April 28, 2018

ශ්‍රී ලංකාව දේශපාලනය ප්‍රතිසංස්කරණ වලට අකමැතිද?

ශ්‍රී ලංකාව දේශපාලනය ප්‍රතිසංස්කරණ වලට අකමැතිද?


වර්තමාන ශ්‍රී ලාංකීය දේශපාලන ප්‍රවාහයේ හිරවීම මත පදනම් වී ඇති එක් බරපතල දේශපාලන ප්‍රශ්නයක්  විග්‍රහ කිරීම වෙනුවෙන් මෙම ලිපිය සකස් කෙරේ.බහුතර ජනමතය සහ අන්තර් ජාතික සහයෝගය මත ගොඩනැංවුන ප්‍රතිසංස්කරණවාදී ප්‍රජාතාන්ත්‍රික පාලන තන්ත්‍රයක්,  එය සතුව පැවතුන විකල්ප දේශපාලන මතවාදයන් හා ප්‍රතිසංස්කරණ දේශපාලන ජවය වෙතින් එක්තරා ලෙසකට  අපගමනය වෙමින් පවති.ආරම්භයේදී එය සතුව පැවති ප්‍රතිසංස්කරණවාදී  හා ලිබරල්වාදී  පදනම මේ වන විට දුර්වල තත්වයකට පත්ව ඇත.

ශ්‍රී ලංකාවේ කාලීන දේශපාලන විවාද මණ්ඩපය මත මේ වන විට මතවාදයන් කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතී.එයිනුදු වඩාත් ප්‍රමුඛ පෙලේ දේශපාලන මතවාදයන් ද්විත්වයක් හඳුනාගත හැකියි.රජයේ ප්‍රධානීන් තුල ප්‍රගතිශීලී හා ප්‍රතිසංස්කරණවාදී දේශපාලන ප්‍රවේශයකට පවතින අකමැති ස්වභාවය හා මැතිවරණ කාල සටහන කෙරෙහි ඔවුන් විසින් දක්වන අස්ථායී ප්‍රතිචාරය මෙයින් පලමු වැන්නයි.දෙවැන්න නම් යහපාලන රජය තුල අන්තර්ගත වන ප්‍රතිවාදී දේශපාලන ප්‍රවාහ දෙක වන ශ්‍රී.ල.නි.ප සහ එ.ජා.ප  අතර ඇති විඛන්ඩනීය නැඹුරැතාවයයි.මේවා දුෂ්‍යමාන වන කරැණු වන අතර එම පැහැදිලි කිරීමේ ප්‍රවේශයන්හි සුවිශේෂ වැදගත්කමක් පවතී.



සන්සන්දනාත්මක දෘෂ්ඨි කෝණයකින්  වත්මන් ගැඹුරැ දේශපාලන යථාර්ථය තුල සිදුවන ක්‍රියාවලීන් අධ්‍යයනය කරනු ලබන විශ්ලේෂකයෙකු ලෙස මෙම සාකච්ඡාවට එක් කල යුතු ප්‍රධාන අරමුණු ද්විත්වයක් පවතී.ජනවාර්ගික සංහිදියාව ස්ථායී මට්ටමකට රැගෙන එ්මේ දුෂ්කරතාවක් පෙන්වීම  සහ රාජපක්ෂ පාලනය ස්ථාපිත කල  වංචා හා  දූෂණ චක්‍රය බිඳ දැමීමේදී යහපාලනය දියත් කල  විශේෂ ආර්ථික -දේශපාලනික සැලැස්ම පෙන්වා ඇති නොහැකියාව  මෙම ප්‍රධාන අරමුණු ද්විත්වයයි.

වඩාත් වාසි සහගත දේශීය මෙන්ම අන්තර් ජාතික වාතාවරණයක් තුලදී  දේශපාලන -ආර්ථික ප්‍රතිසංස්කරණයන් එතරම් සාර්ථක නොවූ  එක්  සුවිශේෂ උදාහරණයක් ලෙසට ශ්‍රී ලංකාව හැඳින්විය හැකිද?මෙම ප්‍රධාන කරැණු ද්විත්වය කෙටියෙන් විමසා බලමු.

සංහිදියාව

විව්‍යස්ථාමය ප්‍රතිසංස්කරණයන් සහ  සංහිදියාත්මක , සාමකාමී පරිසරයක් ගොඩනැඟීම සදහා දේශීය ප්‍රජාවන් සහ අන්තර් ජාතික ප්‍රජාවන්  රජය මත තැබූ විශ්වාසය එලෙසින්ම රැක ගැනීම අසාර්ථක වී ඇති බව පෙනේ.2015 වර්ෂයේ බලයට පත්වූ නව රජය එක්සත් ජනපදයේ අනුග්‍රහය ද මත  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම් සභාවේ යෝජනාවලිය සඳහා සම අනුග්‍රහය  දක්වන බවට එකඟතාවයකට පැමිණියද එහි හරාත්මක එකඟතාවයන්ට ප්‍රමුඛත්වයක් හා විශේෂ වැදගත්කමක් ලබා නොදුන් බව කිව යුතුය.ප්‍රතිපත්තිමය අංශ 4ක් ඔස්සේ හඳුනාගත් මෙම කරැණු ගෝලීය ලිබරල් සාම ප්‍රයත්නයක ස්වභාවය දැරීය.

1. චිරස්ථායී සාමය(sustainable peace)

2. සම්මුති සන්ධානය(reconciliation)

3.  නීතියේ ආධිපත්‍යය ( Transitional justice)

4. ප්‍රජාතාන්ත්‍රිකකරණය, පුළුල් බලය විමද්‍යගතකිරීම සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ( Democratisation, greater devolution and political reform)


පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් නොමැති අභියෝගකාරී වාතාවරනය යටතේ වුවද යහපාලන රජය මෙකී මූලික අරමුණු හතර සාක්ෂාත් කිරීම සඳහා පැහැදිලි හා ප්‍රසංශනීය ප්‍රරම්භක උත්සහයක් දරන ලදි.ගරැ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයත් , අතිගරැ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ සියල්ලගේම සහයෝගය ලබා ගනිමින් 2/3 බහුතරයක් මඟින 19 වන විව්‍යස්ථා සංශෝධනය හරහා  විධායක ජනපතිධූරයේ බලතල ප්‍රතිසංස්කරණය කිරීමේදී දක්වන ලද ධෛර්ය සහ උත්සහය ප්‍රශංසනීය මට්ටමක පැවතිනි.නූතන ප්‍රජාතාන්ත්‍රික විව්‍යස්ථාව ගිවිසුම්  ගොනුවක් නම් ශ්‍රී ලංකාවේ 19 වන විව්‍යස්ථාවට එම අන්තර්ගතයෙන් බැහැර වීමක් නොමැත.

යහපාලන රජය මුලින්ම එකඟවූ පරිදි ජනාධිපති ක්‍රමය මුළුමනින්ම විව්‍යස්ථානුකූලව අහෝසි නොකලද  එමගින් විධායක ජනපතිවරයාගේ බලතල කප්පාදු කිරීම ඔස්සේ පාර්ලිමේන්තුවේ සහ අග්‍රාමාත්‍යවරයාගේ බලතල වැඩි කිරීමක් සිදු විය.මේ නිසා වත්මන් වැඩි බලතල සහිත  අග්‍රාමාත්‍ය තනතුර සහ පාර්ලිමේන්තුව කිසිදු විශේෂත්වයක් නොමැති වුවද ප්‍රජාතාන්ත්‍රීය ජයග්‍රහනයක් ලෙස හැඳින්විය හැකිය.

නමුත් අවාසනාවකට මෙන් රජයට 19 වන විව්‍යස්ථා සංශෝධනයෙන් ඔබ්බට මෙම ව්‍යාපෘතිය රැගෙන යාමට අසීරැ විය.මැතිවරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම හැර  තවදුරටත් සිදු වන විව්‍යස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ජනාධිපතිවරයාගේ නොකැමැත්ත මෙයට බලපාන ලදි .වෙස්මින්ස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය මත පදනම් වූ විව්‍යස්ථාවක් සදහා දැඩි කැමැත්තක් ප්‍රකාශ කරන ලද අග්‍රාමාත්‍යවරයා පරිපාලනමය ප්‍රතිසංස්කරණ සඳහා දැක්වූ දැඩි ආරක්ෂාකාරී ස්වභාවය එම ප්‍රතිසංස්කරණ සදහා එතරම් හොඳ ප්‍රවේශයක් නිර්මාණය නොකරන ලදි.මෙම අවස්ථා යුග්මයම ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන සන්දර්භය මතින් එක්වරම එසවුන යතාර්ථයන් නොවේ.මේ නිසා ජනපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යන දෙදෙනාම මේ වන විට ශ්‍රී ලංකාවේ සෘනාත්මක දේශපාලන බලපෑම් හමුවේ අක්‍රීයව සිටින තත්වයක් උද්ගතව පවතී.



ජාතික ආරක්ෂක තත්වය

ජනවාර්ගික සිවිල් යුද්ධයෙන් පශ්චාත් කාලීනව මෙම සෘනාත්මක දේශපාලන බලපෑම් තීරණාත්මක පැතිකඩවල් දෙකක් මත අන්තර්ගත කර තිබෙන බව පෙනේ.

1. රට තුල පවතින  ජනවාර්ගික විභේදනකාරී ප්‍රවේශය (Ethnocratisation)

2. රටේ ජාතික ආරක්ෂාව පිලිබඳ සංස්ථනය (orientation of national security ) සහ විව්‍යුහාත්මක ඒකාබද්ධතාවය (consolidation of structure)

මෙම කරැණු ද්විත්වයම අනෝන්‍ය වශයෙන් එකිනෙක බැඳුන වෙනස් වන ක්‍රියාමාර්ගයන් වන අතර වඩාත් නිවරදි ලෙසට මෙම ද්විත්වය එකිනෙක විලයනය වෙමින් විචලනය වන පරාමිතීන් දෙකකි.දේශපාලනික හෝ දේශපාලනික බහුවාර්ගික සමාජ පදනමක් මත සිදුවන ජනවාර්ගික විභේදනය යනු සංකීර්ණ පරිනාමීය ක්‍රියාමාර්ගයක් වන අතර මේ නිසා ප්‍රධාන ජනවාර්ගික කන්ඩායම සහ ජනවාර්ගික සුළුතරය අතර ගැටුම්කාරී හෝ සන්නද්ද ගැටුම්කාරී තත්වයන් ජනිතවේ.මෙය මඟින් බහුතර ජනවාර්ගික ප්‍රජාවේ ජනවාර්ගිකව දේශපාලනීකරණය වූ බලවේගයන් නිරෑපනය වන අතර මෙමගින් ජනවාර්ගික පාලක බහුතරය හා  පාලිත සුළුතරය අතර සම්භන්දතාවය ගොඩනඟන සෘජුවම ශ්‍රේණිගත කරන ලද ජනවාර්ගික සම්භන්දතා පාලමක් ඇතිවේ.රටක ජාතික ආරක්ෂාව සංස්ථාපනය ඉතා සංකීර්ණ ක්‍රියාමාර්ගයකි.ප්‍රජාතන්ත්‍රවාදය(democracy), නීතියේ ආධිපත්‍යය(Transitional justice), මානව හිමිකම්(human rights), සම්මුති සන්ධානය (reconciliation)යන සාධකයන් අභිබවමින් ජාතික ආරක්ෂාව පිලිබඳ කරැණු වලදී ප්‍රමුඛත්වය ලබාදීමේ ප්‍රතිපත්තිය ඉතා වැදගත්ය.මෙමගින් රටේ ආරක්ෂාව අනෙක් තරඟකාරී අරමුණු සැමටම වඩා ප්‍රමුඛව ඔසවා තැබීමේ වැදගත්කම විද්‍යාමාන වේ.මෙම තරඟකාරීත්වය දේශපාලන බලය දරන සිවිල් ආයතන සම්භන්දවද අදාලවේ.2009 වසරේ එතෙක් පැවති සිවිල් යුද වාතාවරණය අවසන් වීමත් සමඟම  මෙම පරිනාමීය ක්‍රියාමාර්ගයන් දෙකම ස්ඵටිකීකරණයට ලක්වීම සිදු විය.


පසුගිය වසර තුනක කාලයේදී ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ධනයේ සුලභව දක්නට ලැබුන ලක්ෂණය වූවේ මෙම සුවිශේෂ දේශපාලනික ප්‍රතිපල මඟින් පවතින යහපාලන රජය අපහසුතාවයට පත්වූ අවස්ථාවල සාක්ෂි වලිනි.ජනවාර්ගික ප්‍රතිසංස්කරණ වලදී රාජ්‍ය ආරක්ෂක අංශය හා සම්භන්ද අභියෝග වලට මුහුන දීමේදී එ.ජා.ප  රජයේ දැඩි සංවේදීතාවය පසුගිය කාලයේ කැපීපෙනිනි.යහපාලන රජය විසින් දියත් කරන ලද සාම වැඩපිළිවෙල, සංහිදියාව වර්ධනය සහ විව්‍යස්ථාමය ප්‍රතිසංස්කරණයන් එක්තරා දුරකට ප්‍රමාද වීමට හේතුවූ සත්‍ය කරැණ මෙය විය.මෙලෙස රාජ්‍ය ප්‍රතිසංස්කරණ වැඩසටහන මන්දගාමී කිරීමෙන් ජනවාර්ගික විෂමතාවය තවදුරටත් පවත්වා ගැනීම සඳහා යහපාලන රජයේ පොදුජන එක්සත් පෙරමුණු පාර්ශවය සැලකිය යුතු වගකීමක් දැරිය යුතුවිය.සීමාසහිත දේශපාලන දර්ශනයක් තුල සිටිමින් ක්‍රියාත්මක වන දේශපාලඥයන් සිටින පසුබිමක මෙම තත්වය ලාංකීය දේශපාලනයේ යථාර්තය විදහා දක්වයි

අල්ලස් හා දූෂණ  ගැටළුව

දූෂණයෙන් තොර යහපාලන සංකල්ප මත ක්‍රියාත්මක වන ප්‍රතිපත්තියෙන් අපගමනය වීමේ වගකීම සහ ණය උඟුලෙන් රට මුදවා ගැනීමේ වගකීම  හා අභියෝගය කරට ගත් අග්‍රාමාත්‍යවරයාට හෝ එජාප යට මේ දක්වා එමඅරමුණු සාර්ථකව සපුරා ගැනීමට  නොහැකිවී තිබේ.පසුගිය මහමැතිවරණය අවසන් වූ වහාම දූෂණයෙන් තොර සහ පාරදුෂ්‍ය ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියක් ගෙන එන බව පොරොන්දු වූ යහපාලන රජය එම වගකීම නිසි ලෙස ඉටුකිරීමට අසමත් වූවේ කෙසේද?

පිලිතුර,  ලිබරලීකරණය සහ ගෝලීයකරණ තත්වයන් යටතේ ශ්‍රි ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඔස්සේ නෛතික පද්ධතියේ අවසාන සීමාවේ හෝ නෛතික පද්ධතියට බැහැර සීමාවක පිහිටි  දැවැන්ත ආර්ථික ගණුදෙනු ක්‍රියාවලියකට අදාල ප්‍රාග්ධනය එක් රැස් කරන නව ධනපතියන් පන්තියක්  බිහිවිමයි .දේශපාලන පන්තිය , පරිපාලන පද්ධතිය සහ රාජ්‍ය ආයතන සමඟ සම්භන්දතා ගොඩනඟාගත් නව ධනපතියන් පන්තිය දේශපාලන පක්ෂ සමඟ සමාන්තර තරඟකාරීත්වයක් හෝ සන්ධානගත වීමක් සිදුවිය.මෙම තත්වය පාරදුෂ්‍ය වූ එක් අවස්ථාවක් ලෙස පසුගිය මහ බැංකු බැඳුම්කර වංචාව ට අදාල අධිකරණමය ක්‍රියාමාර්ගයන් ක්‍රියාත්මක කිරීම දැක්විය හැක.දේශපාලන පන්තිය , ආර්ථික පරිපාලනය, මෙම නව ව්‍යාපාරික පන්තිය සමඟ අසම්ප්‍රදායික සහ අතිශය වාසි සහගත සම්භන්දතා ජාලයක් නිර්මාණය කලහ.මෙම නව ව්‍යාපාරික පන්තිය සමඟ තරඟකාරීව කටයුතු කරන බවත්, ඔවුන් ආර්ථික විනයකට යටත්ව හසුරැවන බවත් පෙන්වීමට අග්‍රාමාත්‍යවරයා සහ එ .ජා.ප ය ඔවුන්ව අවස්ථා කිහිපයකදීම අධිකරණය හරහා බන්ධනාගාර ගත කරන ලදි.



මේ හැර රාජ්‍ය අංශයට හා ව්‍යාපාරික වංචාවන්ට සම්භන්ද වූ සමහර යහපාලන දේශපාලඥයන් පිලිබඳවද පොලිස් පරීක්ෂණ වලින් අණාවරනය විය.පසුගිය රාජපක්ෂ පාලනයේ දී සිදුවූ වංචා හා දූෂණ පරීක්ෂණ මන්දගාමී  බවට පත්කරන ලද්දේ එයට සමානවම නීතියේ දිගු හස්තය සමහර යහපාලන දේශපාලඥයන්ගේ නිවසේ දොරට තට්ටු කරන විටදීය.මෙම තත්වයන් දේශපාලන ගණු දෙනු සහ උපාය මාර්ග බවට පත්විනි.රාජපක්ෂ පාලන සමයේ යුද සමය ඇතුලත සහ යුද්ධයෙන් පසුව බිහිවූ සහ සාර්ථකව ක්‍රියාත්මක වූ  වංචා සහගත ව්‍යාපාරික පන්තියේ සමහර පුද්ගලයන් සමඟ ඇතැම් යහපාලන දේශපාලඥයන්ට විශ්වාස කිරීමට පවා අපහසු සම්භන්දතා පවතී යයි  ඇතැම්හු පවසති.

ආදී යුරෝපයේ රාජ්‍යයන් බිහිවීම පිලිබඳ ඇමරිකානු ඉතිහාස විශේෂඥයකු වන චාල්ස් ටිලී  ආදි රාජ්‍ය  වල ස්වභාවය  විස්තර කරනුයේ ආරක්ෂිත මංකොල්ල කෑමක් ලෙසයි. වංචනික ව්‍යාපාරික  ප්‍රජාවන්ට ආරක්ෂාව සහ පහසුව සලසන අසම්ප්‍රදායික ලෙස සංවිධිත භාවයන් ආයතනීගතකරණය කරනු ලැබූ  මෙවන්  ආදී රටවල්  හා සමගාමී තත්වයකට  අද අප යහපාලනය යනුවෙන් හඳුන්වන පාලන තන්ත්‍රය පත්වීමට ඉඩ දිය යුතුද? යහපාලනය බිහිවීමට දර දිය ඇදි අපට එය ඛේදාන්තයකි.


පාඩම

මෙහිදී ඉගෙනීමට ඇති පාඩම් නීරස මෙන්ම සරල එ්වායි

1.  ලාභාංශයන් සහ ප්‍රාග්ධන ලැබීම් සදහා නෛතික රාමුවේ ආන්තික සීමාවන් හි හෝ නෛතික රාමුවේ දුර්වල ස්ථාන හරහා මහා පරිමාන මුල්‍යමය විෂමතා සිදු කරන නව සහ බලසම්පන්න ව්‍යාපාරික පන්තියක් බිහිවෙමින් පැවතීමේ කනගාටුදායක තත්වයක් උද්ගතව ඇත.

2. මෙම නව ව්‍යාපාරික පන්තිය රටේ දේශපාලනික , රාජ්‍ය පරිපාලන සහ ආයතනගත විව්‍යුහයන් සමඟ සම්භන්දතා ජාලයක් ගොඩනඟා ගෙන ඇත

3. කාලානුරෑපීව වෙනස් වන දේශපාලන බලාධිකාරයෙන් ස්වායත්ත වූ  හා ඡන්ද පදනමෙන් ස්වායත්ත වූ  මූලික ලක්ෂණය සහිත ඡායා රාජ්‍යයක (shadow state) ස්වභාවයක් එය නිර්මාණය කරමින් සිටියි.

4. ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ පොරොන්දු වෙමින් සිදු කරන ආණ්ඩු වෙනස් කිරීමක්  මගින් මෙම මූලික දේශපාලන යථාර්තය සහ දේශපාලනික ආර්ථිකය වෙනස් කිරීම අතිශය දුෂ්කර විය හැකිය.

මෙලෙස නිරාකරණය නොවු ගැටළු හමුවේ  සමහර ලාංකීය සාමාන්‍ය ජනතාව මෙන්ම මෙම නව ව්‍යාපාරික පන්තිය ද  (predatory bussiness society) දැඩි මතයක් දරන සහ ඒකාධිපති පාලන රටාවක් දරන පාලකයෙකු බලයට පත්වේ යැයි බලාපොරොත්තුවෙන් සිටිති.

මෙම දේශපාලන සන්දර්භය හෝ එහි සුළු අපගමනයන් හමුවේ ශ්‍රී ලංකාව හුදකලා තත්වයට පත්වී නැත.දකුණු ආසියාවේ සිදුවූ සමහර දේශපාලන ප්‍රතිසංස්කරණ  පිලිබඳ මූලධර්මීය ලෙස එය නැවත සිතිය යුතුව තිබේ.වාමාංශික සහ අනෙක් ප්‍රජාතාන්ත්‍රිය පාර්ශවයන්ගේ සහයෝගය ලබන ඉන්දීය බී.ජේ.පී රජය වර්තමානයේ මෙයට සමාන වාතාවරණයකට මුහුන පා සිටියි.

දේශපාලන විප්ලවයක් ඔස්සේ දේශපාලන, පරිපාලන , ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම , සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් තහවුරැ කිරීම, දූෂණයෙන් තොර රාජ්‍ය පාලනය යන  අංශ ශක්තිමත් කිරීම ඉතා වැදගත්ය.නමුත් මෙවන් විප්ලවයක් මගින් යහපාලනය ස්ථාවර කිරීම හෝ දූෂණය පිටු දැකීම තහවුරැ නොකරයි.අප මේ දක්වා සිරවී සිටින උඟුල එයයි.

රජය  ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සදහා ශ්‍රි ලාංකීය පුරවැසියන් සතු වූ අයිතිය විව්‍යස්ථාදායක පදනමක් මත වුවද එතරම් කල් පවත්වා ගෙන යා හැකිද හෝ යන්නේද යන්න පවා ගැටළුවකි.ප්‍රජාතාන්ත්‍රිය අවකාශය සෙමෙන් හෝ වේගයෙන් වැසෙමින් පවතීද?පොදු යහපත , යහපාලනය ,  ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල්කරණය  , දූෂණය පිටුදැකීම ,මානව හිමිකම් , සංහිදියාව, සුළු ජාතික අයිතිවාසිකම්  උදෙසා මෙයට වඩා කැපවීමෙන් සටන් කල යුතු නොවේද?



Groound viiewoo ඇසුරෙන්
යහපාලන සිවිල් සමාජ ක්‍රියාකාරී මහාචාර්යවරයෙකු ඉදිරිපත් කල ලිපියක සිංහල  පරිවර්තනය

අනුරාධ සේනාරත්න

No comments:

Post a Comment