Saturday, May 19, 2018

ජේ.ආර් .ජේ චින්තනය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීද නැතහොත් අවස්ථානෝචිතද?

ජේ.ආර් .ජේ චින්තනය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීද නැතහොත් අවස්ථානුචිතද?



තියුණු දේශපාලන බුද්ධි ප්‍රභාව, කර්කෂ විවේචන සන්සුන්ව විඳදරා ගැනීම, තම අරමුණ සඵල කර ගන්නා තෙක් පවත්වන නොපසුබස්නා ධෛර්ය යන කරැණු අතින් ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ මෙතෙක් පහලවූ විශිෂ්ඨතම දේශපාලඥයෙක් ලෙස හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමන් හැඳින්විය හැකිය.ජේ.ආර්.ජේ විසින් දරන ලද ආර්ථික , දේශපාලන මතවාදයන් , ඔහුගේ ප්‍රතිපත්තීන් සහ දේශපාලන මූලධර්මයන් ශ්‍රී ලාංකීය වර්තමාන ආර්ථික දේශපාලන රාමුව නිර්මානය කිරීමේදී ප්‍රධාන ලෙසම බලපා ඇත.මෙම ලිපියේ මාතෘකාව අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනපතිවරයා සතුවූ දේශපාලන චින්තනය පිලිබඳ නිගමනයකට එලඹීමේ අභ්‍යාසයක් ලෙස මෙය හඳුන්වා තිබුනද මෙම ලිපියේ අන්තර්ගතය එම සීමාවෙන් ඔබ්බට පියවර මනින්නකි.එම නිසා ජේ.ආර්.ජේ ගේ දේශපාලන චින්තනය පිලිබඳ නිගමනයකට එලඹීම අනාගතයේ බිහිවන ඉතිහාසඥයන්ට භාර කරමි.මෙහිදී ජේ.ආර් ජයවර්ධන මැතිතුමන්ගේ දේශපාලන සහ පුද්ගලික චරිත ස්වභාවය සම්භන්ද මධ්‍යස්ථ මෙන්ම පාඨක චින්තන ප්‍රතිභාව උත්තේජනය වන ආකාරයේ විවරනයක් ඉදිරිපත් කරමි.

ජේ.ආර්.ජේ ගේ දේශපාලන චරිතයේ ස්වභාවය නීර්ණය කරනු ලබන වඩාත් ආකර්ෂණීය  උදාහරණයක් ලෙස 1957 පැවැත්වුන කොලඹ සිට මහනුවර දක්වා වූ පාගමන හැඳින්විය හැකිය.එතුමන්ගේම හේතු දැක්වීම් සහ නිගමනය කිරීම් මත ගමන්කල මෙකී පාගමන විශේෂ සිදුවීම් වලින් බහුලවිය.1956 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දරැණු ආකාරයේ පරාජයක් ලැබීය.මෙකී පරාජය ජේ.ආර්.ජේ ට තදින්ම දැනෙන්නට වූවේ ඔහුගේ ආසනය වූ කැලණිය ඔහුට අහිමි වීමෙනි.ඔහුගේ ප්‍රතිවාදියා ජේ.ආර්.ජේ ට වඩා වැඩි ඡන්ද 23000ක් ලබමින් ඡන්ද 45%ක ප්‍රතිශතයකින්  ඔහුට වඩා ඉදිරියෙන් සිටීමට සමත්විය.නිදහස ලබා ගැනීමේදී පුරෝගාමී මෙහෙවරක් ඉටුකල අධීන දේශපාලන පක්ෂයක ජනප්‍රියත්වය නිදහසෙන් වසර 8කින් පසු සීඝ්‍රයෙන් පහත වැටී තිබිනි.


එක්සත් ජාතික පක්ෂයේ එවකට නායකයන්ට මෙකී පරාජය දරා ගැනීම අසීරැ විය.එමෙන්ම 1952 ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධූරයට පත්වූ " ජාතියේ පියාගේ " සාඩම්බර පුත්‍රයා වූ ඩඩ්ලි සේනානායක මැතිතුමන් දේශපාලනයෙන් විශ්‍රාම ගෙන විවේක සුවයෙන් පසුවිය."මා ප්‍රමුඛත්වය ලබා දෙනුයේ එක්සත් ජාතික පක්ෂය වැටී සිටින මෙම දුෂ්කර අවස්ථාවෙන්  නැවත ‍ගොඩ ගැනීමටයි" ජේ.ආර්.ජේ පැවසීය.

ඩඩ්ලි සේනානායක මැතිතුමන්ගෙන් පසුව  එක්සත් ජාතික පක්ෂයේ සීඝ්‍ර පසුබෑමක් දක්නට ලැබුන අතර  හිටපු අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල  මැතිතුමන් පක්ෂ නායකත්වයට පත්වීමේ අභිලාෂයෙන් පසුවිය.නමුත් එතුමන්ගේ චරිතයේ  ඇතැම් විට පැවති නොසරැප් ආඥාදායක ලක්ෂණ, සාමාන්‍ය ජනතාව වෙත දැක්වූ   යම් යම් අවිචාරවත් හැසිරීම් රටා මෙන්ම ප්‍රතිචාරත්, සිය දේශපාලන ප්‍රතිවාදීන් වෙත දැක්වූ ප්‍රචන්ඩභාවය සහ සිංහල පමණක් කථාකිරීමේදී දැක්වූ පටලැවිලි ස්වභාවයත් නිසා 1956 දී එක්සත් ජාතික පක්ෂය ලැබූ එම දරැණු පරාජයට හේතු විනැයි පෙනී යයි.


මේ කාලයේ ජේ.ආර්.ජේ පක්ෂයේ  උපනායකත්වයේ කටයුතු කලේය.ඔහු මෙම තනතුරේ කටයුතු කරන්නට පටන් ගත්තේ මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිතුමන්ගේ අභාවයේ සිටමය.ඩී.එස් පාලන සමය තුල එතුමන්ගේ සම්භන්දතා ජාලයේ එක් පුරැකක් වෙමින් මුදල් ඇමති ධූරය පවා ජේ.ආර්.ජේ විසින් දරන ලදි.එස්.ඩබ්.ආර්.ඩී බන්ඩාරනායක මැතිතුමන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සභානායක ධූරය දරමින් සිටින විටද ජේ.ආර්.ජේ  පක්ෂයේ දෙවැනි නායකත්වයේ කටයුතු කලේය.මෙම ඵෛතිහාසික කරැණු ජේ.ආර්.ජේ ගේ දේශපාලන චරිතය විමර්ෂණය කරන්නෙකුට අතිශය වැදගත් සන්ධිස්ථාන බව පැහැදිලිය.

ඉවසීම සහ අතිශයින් දමනය කල චර්යාවන් ප්‍රදර්ශනය කිරීම අතින් ඉතා ඉහල කුසලතාවයක් පෙන්නුම් කල මෙතුමා සමකාලීන ඔහුගේ දෙමළ ජාතික දේශපාලන ප්‍රතිවාදීන් කෙරෙහි  දැඩි දේශපාලන විචිකිච්ඡාවකින් පසුවූ අයෙක් ලෙස ප්‍රකටය.මෙම නිගමනයට එලඹීමට වඩාත් තුඩු දෙන තර්කය වන්නේ1950 වර්ෂයේ ෆෙඩරල් පක්ෂයේද සහයෝගය සහිතව බන්ඩාරනායක මැතිතුමන්ගේ මූලිකත්වයෙන් සිදුවූ සුප්‍රසිද්ධ බන්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම ව්‍යයර්ථ කිරීමට ජේ.ආර්.ජේ දැරෑ බලවත් උත්සහය නිසාය.මෙම කරැණ දීර්ඝ ශ්‍රී ලංකා  දේශපාලන ඉතිහාසය තුල එක්තරා සන්ධිස්ථානයක් නියෝජනය කරනු ලබයි.ජනවාර්ගික සහ දේශපාලන පක්ෂ අවශ්‍යතාවයන් සංතෘප්ත කිරීමේ අරමුණින් ශ්‍රි ලාංකීය දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනවාර්ගික කන්ඩායම් දෙකක නායකයන් දෙදෙනෙකු අනෝන්‍ය වශයෙන් දේශපාලන එකඟතාවයකට පිවිසීමේ ඵෛතිහාසික අවස්ථාව මෙයින් සනිටුහන් කරයි.


ෆෙඩරල් විව්‍යස්ථාවකට වඩා අවප්‍රමාණ ස්වාධීනත්වයක් සහිත විව්‍යස්ථාවක් අනුමත කිරීම සඳහා චෙල්වනායගම් - බන්ඩාරනායක දෙපල සමඟ ෆෙඩරල් පක්ෂ නායකත්වය එක්වූවේ පක්ෂ සාමාජිකයන්ගේ ද විරෝධය මත්තේය.මෙම ගිවිසුමේ දැක්වෙන පරිදි ප්‍රාදේශීය සභාවලට බලතල විමද්‍යගත කිරීමට  බන්ඩාරනායක මැතිතුමන් එකඟවිය.මේ පිලිබඳ මතුවී පැවති සැක සහිත තත්වය පිලිබඳ ෆෙඩරල් පක්ෂ සාමාජිකයන් දැනුවත් කිරීමෙන් අනතුරැව ඔවුන් එක් මතයකට රැගෙන ඒමට ෆෙඩරල් පක්ෂ නායකත්වය සමත්විය.පැවති සැක සහිත තත්වය යටතේ වුවද  එකඟතාවය වඩාත් කාලීන හා දෙපාර්ශවයටම වාසිදායක බව පෙනී යන ලදි.

මෙම එකඟතාවය සඳහා සිය ජනවාර්ගික පදනම් ඔස්සේ  අදාල ප්‍රවේශය ලබා ගැනීමට  බන්ඩාරනායක සහ චෙල්වනායගම් යන පාර්ශව ද්විත්වයටම ප්‍රමාණවත් තරම් අනෝන්‍ය  විශ්වාසදායක බවක් විය.මෙම දෙපාර්ශවයටම සිය පාක්ෂිකයන්ගෙන් අදාල ගිවිසුම සඳහා සෑහෙන සහයෝගයක්ද පැවතිනි.ශ්‍රී ලාංකීය  ඉතිහාසය සහ දේශපාලනය තුල මෙතෙක් සිටි විශිෂ්ටතම දේශපාලන ශිෂ්‍යයෙකු වූ ජේ.ආර් .ජේ  මෙම ගිවිසුම සහ එහි බලය විමද්‍යගත කිරීම සිය පක්ෂය වටා  බහුතර සිංහල බෞද්ධ බලවේගයන් සංකේන්ද්‍රනය කිරීමේ ස්වර්ණමය අවස්ථාවක් ලෙසින් දකින ලදි. 1956 පැවති මැතිවරණයෙන් මේ වන විට අන්ත පරාජයක් ලබා සිටි එක්සත් ජාතික පක්ෂය , බන්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම අත්සන් කරන  අවස්ථාවේදී පවා සිටියේ පරාජය පිලිබඳ දැඩි කළකිරීමෙනි.පාර්ලිමේන්තුව තුල ආසන 08ක් පමණක් හිමිවූ එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර් ඇතුළු බොහෝ නායකයන්ට ඒ වන විට ආසන අහිමිවී තිබිනි.සිය මතුරට ආසනය රැකගත් එවකට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඩී බන්ඩා මැතිතුමන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කන්ඩායමේ නායකත්වය ඉසිලීය


 හරාත්මක සන්දර්භය තුල එම්.ඩී බන්ඩා මැතිතුමන් මහත්මා දේශපාලනයක නිරත වුවද එතුමන් පක්ෂය වැටී තිබූ අගාදයෙන් ගොඩගත හැකි මට්ටමේ ආකර්ෂණීය ජවයක්, දේශපාලන සූක්ෂම උපායශීලී භාවයක් සහ දැඩි ඉවසීමක්  සහිත පෞර්ෂයක් දරන්නෙකු නොවීය.සර් ජෝන් කොතලාවල මැතිතුමා දොඩන්ගස්ලන්ද ආසනයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව ලබා ගත්තද ඔහු ලංකාවට වඩා වාසය කලේ එංගලන්තයේය.මේ නිසා සමස්ථ ප්‍රායෝගික පසුබිම සලකමින් ජේ.ආර්.ජේ පක්ෂයේ නිළ නොවන නායකත්වය ලෙසින් කටයුතු කරන ලදි.

මේ නිසා බන්ඩාරනායක-චෙල්වනායගමි ගිවිසුම උපයෝගී කර ගනිමින්  ජනප්‍රියතාව හීනවී පවතින පක්ෂය නැවත ජනතාව අතරට ගෙනයාම සඳහා ස්වර්ණමය අවස්ථාවක් ජේ.ආර්.ජේ විසින් දකින ලදි.උතුරේ දෙමළ ජනවාර්ගිකත්වය සඳහා වෙනම ප්‍රාදේශීය කවුන්සිලයක් සඳහා අවසර දීම ඔස්සේ බලය විමද්‍යගත කිරීමක් සිදු කෙරෙන බවත් එම කරැණ ඔස්සේ මෙතෙක් කලක් කොලඹ කේන්ද්‍ර කොට ගනිමින් පවත්වාගෙන යන ලද පක්ෂය බහුතර සිංහල - බෞද්ධ ප්‍රජාව වෙතට රැගෙන යාමට ප්‍රවේශයක් ලැබෙන බවත් ජේ.ආර්.ජේ දුටුවේය.


එක් අතකින් ජේ.ආර්.ජේ ගේ මෙම උපාය මාර්ගය පාරාජයේ අමිහිරි කටුකත්වය රසවිඳිමින් සිටි නිද්‍රාශීලී දේශපාලන පක්ෂයක් අවදිකර ලීමට සමත්විය. අනෙක් අතින් ස්වාධීන රාජ්‍ය සංකල්පයක සිටි දෙමළ නායකයින් මෙන්ම දෙමළ ප්‍රජාව තුල ජේ. ආර්.ජේ කෙරෙහි මෙන්ම එක්සත් ජාතික පක්ෂය පිලිබඳව අඳුරැ ප්‍රතිරෑපයක් සහ අවිශ්වාසයක් ඇති කිරීමට සමත්විය.මෙම ගිවිසුමට විරෝධය දැක්වීමේ පියවර ලෙසට ජේ.ආර්.ජේ විසින් කොලඹ සිට මහනුවර දක්වා සැතපුම් 72ක් සම්පූර්ණ කරමින් ගමන් කරන පා ගමනක් සංවිධානය කරන ලදි.මෙම පාගමනේ අවසාන ගමනාන්තය වූවේ ඳළදා මාලිගය හෙවත් සිංහල බෞද්ධයන්ගේ ආගමික සංස්කෘතික හා සමාජයීය යන සෑම අංශයකම මුදුන් මල් කඩයි.

මෙම පාගමනේ අරමුණ පැහැදිලි කරමින් කොලඹදී ජනතාව ඇමතු ජේ.ආර්.ජේ විසින් ප්‍රකාශ කරන ලද්දේ බන්ඩාරනායක -චෙල්වනායගම් ගිවිසුම හරහා රටේ ඒකීය භාවයට හානි කරමින් ෆෙඩරල් විව්‍යස්ථාවක් කරා උතුරැ නැගෙනහිර දෙමල ජනවාර්ගික පාලනයකට ගෙන යමින් සිටින බවකි.මෙම ගිවිසුම නවතාලීම සදහා අතිපූජනීය දළඳා වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමත් ඒ සඳහා රටපුරා ජනතාව ඒකරාශී කිරීමත් මෙම පාගමනේ අරමුණ බැව් ජේ.ආර්.ජේ විසින් මනාව පහදා දෙන ලදි.මෙම පාගමන ආරම්භවූ පසු සිදුවූ සහ වාර්තාවූ අතුරැ සිදුවීම් රැසක් විවිධ ලේඛකයන් විසින් අනාවරණය කරන ලදි.


පාගමන කලගෙඩිහේන ප්‍රදේශය පසු කරන අතරතුර එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එස්.ඩී බන්ඩාරනායක මහතා සහ ඔහුගේ ආධාරකරැවන් පාගමන හරස් කරමින් කොලඹ-මහනුවර මහා මාර්ගය වැතිර සිටීමද එවන් එක් සිදුවීමකි.මෙහිදී ජේ.ආර්.ජේ ගේ සමහර ආධාරකරැවන් ඔහු සහ පිරිස ඔසවා පාර අයිනෙන් තැබීමට උත්සහ කරන ලදි.මෙයට ප්‍රතිචාර දැක්වූ ජේ.ආර්.ජේ පවසන ලද්දේ "අප යන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක්.ඒ නිසා මහමඟ වැතිර සිටින ඔවුන්ට අත තැබීමටවත් අපට නොහැකියි "යනුවෙනි.

කලගෙඩිහේන ප්‍රදේශයේදී එල්ලවූ ගල් ප්‍රහාරයත් සමඟම පාගමන නිසා  ආධාරකරැවන්ට සහ මහජනතාවට සිදුවන අනර්ථය සලකමින් ජේ.ආර්.ජේ විසින්ම  එය අතරමඟ එය නවතා දමන ලදි.

අතීතය විවිධ පෞර්ෂයන් හා සිදුවීම් සමඟ උත්ප්‍රාසය දනවන හැඟීම් ඇති කරයි.පසුකාලීනව ඉන්දු ලංකා ගිවිසුම මඟින් එකඟවූ පරිදි එක් කල 13වන විව්‍යස්ථා සංශෝධනය මඟින් ප්‍රාදේශීය සභා , පළාත්සභා හඳුන්වා දෙන ලද්දේ ද ජේ.ආර් .ජේ විසින්මය.

එය අත්සන් කරන ලද්දේ  එවකට ශ්‍රි ලංකා ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමන් සහ ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මැතිතුමන් අතරය.උතුරැ නැගෙනහිර දෙමළ ජනවාර්ගිකත්වය සඳහා  බලය විමද්‍යගතකිරීමට එරෙහිව මුලදී  පා ගමනක් පවා සංවිධානය කල ජේ.ආර්.ජේ  පසුකාලීනව දහතුන්වන විව්‍යස්ථා සංශෝධනය ඔස්සේ ප්‍රාදේශීය සභා සහ පළාත් සභා ඇති කරන්නට යෙදුනේ කලානුරෑපී පදනමක් මත අවස්ථානුචිතව බව පැහැදිලිය.දශක හයක් පුරාවට අළු විසිරෙමින් පැවති බන්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම පසුකාලීනව අත්සන් කල ජේ.ආර් - ගාන්ධි ගිවිසුමට පූර්වාදර්ශයක් සැපයීය.

The telegraph  පුවත් පතට  ජේෂ්ඨ මාද්‍යවේදියෙක් එක් කල රසවත් විග්‍රහයක් ඇසුරෙන්

සිංහල පරිවර්තනය

අනුරාධ සේනාරත්න


No comments:

Post a Comment